බලතල ඉක්මවා කටයුතු කිරීමට සිදු වීමෙන් නිලධාරීන් අසරණ වෙනවා

බලතල ඉක්මවා කටයුතු කිරීමට සිදු වීමෙන් නිලධාරීන් අසරණ වෙනවා

මහජන මුදල් අයථා ලෙස පරිහරණය කරමින් ඇතැම් ඇමතිවරු තමන්ගේ නිවාසවල බිල්පත් ගෙවා දැමීමට රජයේ නිලධාරීන්ට නියෝග කරන බවත්, එවැනි අවස්ථාවලදී අදාළ නිලධාරීන් අසරණ වී සිටින බවත් විශ්‍රාමික සහකාර විගණකාධිපති කේ.ජී.පී.ඩබ්. ගමගේ හෙළි කරනු ලැබීය.

ජාතික ජන බලවේගයේ ගණකාධිකාරීවරුන් සහ විගණකවරුන් විසින් අද (04) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී හෙළිකළ කරුණු පහත දැක්වේ.

රාජ්‍ය මුදල් සම්බන්ධ සියලු වගකීම් පාර්ලිමේන්තුවට පවතින බැවින් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට වියදම් කිරීම සඳහා මුදල් ලැබෙන්නේ එම අනුමැතිය ඇතිවයි. මේ මූල්‍ය බලතල ඉක්මවා කටයුතු කරන්න බැහැ. නමුත් මේ වන විට එවැනි කටයුතු සිදුකරමින් සිටිනවා.

රාජ්‍ය මූල්‍ය පිළිබඳව විගණනය කිරීම විගණකාධිපතිතුමාගේ කාර්යභාරය වී තිබෙනවා. එක් එක් ආයතනවලට වාර්ෂිකව වෙන්කරන මුදල් පිළිබඳව විගණනයක් සිදුකිරීම විගණකාධිපතිවරයාගේ මූලික කාර්යභාරයක්. ඒ ආයතනවලින් වාර්ෂික ගිණුම් වාර්තා විගණකාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතුයි. එම ගිණුම් වාර්තා පිළිබඳව විගණකාධිපතිවරයා විමර්ශන සිදුකර අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවේ කෝපා සහ කෝප් කාරක සභා දෙක මගින් මෙම ගිණුම් වාර්තා පිළිබඳව විශ්ලේෂණයන් සිදුකරනවා. ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, අදාළ චක්‍රලේඛ සහ විධිවිධානයලට පටහැණිව ගෙවීම් සිදුකර තිබෙනවා නම්, එම ගෙවීම් අවිධිමත් ගෙවීම් ලෙස සටහන් කරනවා. 2018/2019 විගණන පනත අනුව අවිධිමත් ගෙවීම් සම්බන්ධයෙන් අධිභාර පැනවීමේ හැකියාව විගණකාධිපතිවරයාට ලබාදී තිබෙනවා. ඒ අනුව එම අවිධිමත් ගෙවීම් අයකර ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම මෙම මූල්‍ය පරිහරණය පිළිබඳව විගණකාධිපතිවරයා ලබාදෙන වාර්තාව අනුව ක්‍රියාකිරීමේ බලය අදාළ ආයතනවලට පැවරෙනවා. ඒ අනුව නිලධාරීන් තමන්ට ලැබී තිබෙන බලතල නොඉක්මවා කටයුතු කිරීමට වගබලාගත යුතු වෙනවා. නමුත් සිදු වන බලපෑම් හමුවේ බලතල ඉක්මවා කටයුතු කිරීමට සිදු වීමෙන් නිලධාරීන් අසරණ වෙනවා.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්