බන්දුලගේ සහන මල්ල පුළුවන් නම් ඇමතිවරු බිරින්දෑවරුන්ට ගිහින් දෙන්න

බන්දුලගේ සහන මල්ල පුළුවන් නම් ඇමතිවරු බිරින්දෑවරුන්ට ගිහින් දෙන්න

සතොස හරහා බන්දුල ඇමතිවරයා ලබා දෙන සහන මල්ල අණ්ඩුවේ ඇමතිවරු තමන්ගේ බිරින්ඳෑවරුන්ට ගිහින් දුන්නා නම් හොඳම දේ අහගන්න පුළුවන් යැයි අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ මහත්මිය පවසයි.

එතුමිය මේ අදහස් ප්‍රකාශ කර සිටියේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය උදා වුවත් ජනතාවට අවුරුදු සැමරීමට නොහැකි තරමට භාණ්ඩ මිල ඉහළ ගොස් තිබීම පිළිබඳවත්, වෙළඳ පොළ තුළ විෂ පොල්තෙල් ඇතුලු පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි වෙමින් තිබීම වැලැක්වීමට ආණ්ඩුවක් ලෙස මැදිහත් නොවීම සම්බන්ධයෙනුත් අද (09) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් පළකරමිනි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන සමන්මලී ගුණසිංහ… ” කවුරුත් කතා කරන සතොස ආයතන ලංකාව පුරාම තිබෙන්නේ 431යි. රුපියල් දාහේ බඩු මල්ල ගන්න තව රුපියල් පන්සීයක් විතර ත්‍රීවිල් එකකට වියදම් කරන්න වෙනවා. අපිට දැනෙනවා රුපියල් දාහට කියලා මේ සහන මල්ලක් දීලා එකෙන් රුපියල් හාරසීයකට වැඩිය ලාභයක් මේ භාණ්ඩ මිලදී ගන්නා ව්‍යාපාරික ආයතනවලට ලබා දෙනවා. හාල්මැස්සගෙන්, ලුණු පැකට් එකෙන්, හාල් කිලෝවෙන් ලොකු වංචාවක් සතොස හරහා සිදු වෙලා තිබෙනවා. මේ සහනය කියලා මොකක්ද පෙන්නන්නේ. මේ සහනය කාටද දෙන්නේ. ජනතාවට නෙවෙයි. දැන් ජනතාවට සිද්ධ වෙලා තිබෙනවා සතොස ආයතන ගානේ ඇවිදගෙන යන්න මේ බඩු මල්ල හොයාගෙන. දවස් දෙකක් කන්න පුළුවන් තරමට බඩු තමයි මේ සහන මල්ලේ තියෙන්නේ. ඒකත් ප්‍රමිතියෙන් තොරයි. අපි කියනවා පුළුවන් නම් ආණ්ඩුවේ ඇමතිවරුන්ට සතොස ආයතන ගානේ රවුම් ගහලා හරි කමක් නෑ මේ බඩු මල්ල අරගෙන ගිහින් තමන්ගේ බිරින්ඳෑවරුන්ට දෙන්න. එතකොට පුළුවන් බඩු මල්ල ගැන හොඳම දේවල් අහගන්න.” යනුවෙන් පැවසීය.

මෙම මාධ්‍ය හමුවේදී අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපතිනි, ආචාරිනී සරෝජා පෝල්රාජ් මහත්මියද අදහස් දැක්වීය.

සම්පූර්ණ මාධ්‍ය හමුව…

“සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය ආසන්න වී තිබෙන පසුබිමක රටේ බඩු මිල සහ ඒ හා සම්බන්ධ කරුණු කීපයක් ගැන අවධානය යොමු කරවීම සඳහා මෙම මාධ්‍ය හමුව පවත්වනවා. කෘෂිකර්ම ඇමතිතුමා අප්‍රේල් 01දා කිව්වා සහල් මාෆියාව ඉවරයි කියලා. අඩු මිලට අවුරුදු කන්න සහල් ගන්න පුළුවන් කියලා කීවා. නාඩු කිලෝ එක රුපියල් 97/-ටත් කැකුළු කිලෝ එක රුපියල් 93/-ට ගන්න පුළුවන් කියලා එතුමා කීවා. එදිනම පිටකොටුවේ තොග වෙළඳපොළේ තිබුණේ නාඩු කිලෝ එක රුපියල් 100/-යි කැකුළු කිලෝ එක රුපියල් 98/-ටයි. ඒ නිසා ඔවුන්ගේ ඒ කතා පුස්වෙඩිල්ලක් බවට පත්වුණා.

කොවිඩ් නිසා ගිය අවුරුද්දේ දරුවන්ට අවුරුදු තිබුණේ නැහැ. ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ අවුරුදු නැකත් ඉවර වෙනවාත් එක්කම සහරාන්ගේ ප්‍රහාරය එල්ල කළා. මේ ආණ්ඩුව සියලු බලතල අතට ගත්තේ ජනතාවට සෞභාග්‍යය ගේනවා කියලා. ඒත් මේ වෙනකොට පවතින බඩු මිල සම්බන්ධයෙන් තත්වය කොහොමද කියලා බැලිය යුතුයි. ගිය අවුරුද්දේ මුං ඇට කිලෝග්‍රෑම් එකක් රුපියල් 350/- 400/- අතර මිලකට තිබුණා. මේ අවුරුද්දේ මුං ඇට මිශ්‍ර කිරිබතක් හදා ගන්න කියලා අවුරුදු නැකත් සීට්ටුවේ තියෙනවා. හැබැයි අද මුං ඇට කිලෝ එක රුපියල් 900/-ත් 1000/- අතර මිලකට වැඩි වෙලා. ඊට ආදේශකයක් විදිහට තිබෙන කව්පි මිල රු:1200/-යි. ඒ වගේම උඳු කිලෝ එකක් රු:1700/- ඉක්මවලා.

කෝවිඩ් වසංගතයත් එක්ක විශාල පිරිසකගේ රැකියා අහිමිවීම් වගේම ආදායම් අහිමිවීම් සිදුවුණා. අද වෙද්දී ගුරුවරු, විදුලි සේවකයෝ, ජල සේවකයෝ, මහ පාරේ උද්ඝෝෂණ කරනවා. ත්‍රී විල් රථ රියදුරන්ට ආදායම් නැති නිසා මේ පාර අවුරුදු නැහැ කියනවා. මැදපෙරදිග විතරක් විදේශගත ශ්‍රමිකයන් 40,000ක් විතර කිසිම ආදායමක් නැතිව මේ රටට එන්න බැරිව ඉන්නවා. හෝටල් ක්ෂේත්‍රවල සියලුදෙනාගේම ආදායම් බිඳ වැටිලා. ලීසිං එක ගෙවා ගන්න බැරිව ඉන්නවා. ගම්වල ඉන්න විශාල කාන්තාවෝ පිරිසක් ක්ෂුද්‍ර මූල්‍ය ණයවලින් හෙම්බත් වෙලා ඉඳිද්දීයි, මේ විදිහට බඩු මිල වැඩිවෙලා තිබෙන්නේ. අනික් පැත්තෙන් විෂ පොල්තෙල් නිසා තමන්ගේ දරුවන්ට කොකිස් එකක් බැදලා දෙන්න බැරි භීතියකින් ඇළලුණු අවුරුද්දක් බවට පත්වෙලා තිබෙනවා.

ඒ නිසා මේ අවුරුද්ද කිරිබතට සහල් නැති, කිරිබතට පොල් ගන්න බැරි, කොකිස්වලට කහ නැති, කැවුම් බැද ගන්න විෂ නැති තෙල් නැති, මුං කැවුමට මුං නැති අවුරුද්දක් වෙලා. පුංචි දරුවන්ගේ අවුරුද්ද උදුරා ගත්තු තත්වයක් ඇති වී තිබෙනවා. මේ පසුබිම තුළ සති දෙකකට සෑහෙන්න සහන මිලට බඩු මල්ලක් දෙන බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කියා තිබෙනවා. මේ සහන මල්ල දෙන්නේ සතොසෙන් කීවා. පාරිභෝගිකයන්ට සහන මල්ල හොයාගෙන, ඒවා තිබෙන සතොසවල් සොයාගෙන යන්න ජනතාවට සිද්ධ වෙලා තිබෙනවා. රත්මලානේ පාරිභෝගිකයෙකුට සහන මල්ල සොයාගෙන පිලියන්දලටම යන්න සිද්ධ වෙලා. ඒ වෙනුවෙන් ත්‍රීවිල් ගාස්තුව රු:500/-කට ආසන්න මුදලක් ගෙවන්න සිදුවී තිබුණා. ලංකාවේම සතොස ශාඛා තිබෙන්නේ 431යි. ඒ අතරිනුත් සහන මල්ල තිබෙන්නේ කොහේද කියලා හොයාගෙන යන්න සිද්ධ වෙලා.

සති දෙකක් කන්න තිබෙන බඩු මල්ලේ තිබෙන ද්‍රව්‍ය අපිට පෙන්නන්න පුළුවන්. පුත්තලම සංස්ථා ලුණු රු:65/-කට මිල කළ පැකට් එකක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් බිලේ මිල සඳහන් කර තිබෙන්නේ රු:43/-යි. නමුත් වෙළඳපොළේ රු:100/-ට මේ වගේ පැකට් 3ක් ගන්න පුළුවන්. ඇත්තටම ආණ්ඩුවට මේ සංස්ථා ලුණු පැකට් එක රු:20/-ට විතර දෙන්න පුළුවන්. ඒ නිසා ලුණු පැකට් එකත් මිනිස්සුන්ට නැති කළා වගේම ලුණු පැකට් එකෙනුත් ගසාකාපු ආණ්ඩුවක් මේ. හාල්මැස්සෝ ග්‍රෑම් 200ක්වත් නැති ඇසුරුමක් තිබෙනවා. ඊට රු:115/- මිලක් අයකර තිබෙනවා. මේ හාල් මැස්සෝ කන්න පුළුවන් තත්වයේ තිබෙනවාද කියලා පරීක්ෂා කරන්නැයි මම මාධ්‍යයට ආරාධනා කරනවා. මේ නිසා ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයකුත් මේ බඩු මල්ලේ තිබෙනවා. ආණ්ඩුව සහනය කියලා මොකක්ද මේ පෙන්වන්නේ. සහනය දීලා තිබෙන්නේ කාටද? දැන් වෙලා තිබෙන්නේ සහන මල්ල හොයන්න ඇවිදගෙන යන අයට ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය ලබාදීමයි. ඒ වගේම ග්‍රෑම් 50ක් තිබෙන සෝයා පැකට් එකක් දෙනවා. මේ සහන මල්ල තමන්ගේ බිරිඳට ගිහින් දෙන්න කියලා අපි ආණ්ඩුවේ ඇමතිවරුන්ට අභියෝග කරනවා. එතකොට ඒ බිරින්ඳෑවරුන්ගේ ප්‍රතිචාරය බලාගන්න පුළුවන්. එතකොට හොඳම දේ අහගන්න පුළුවන්. ඒ වගේම ඇමතිවරුන්ගේ නෝනලා සහන මල්ලේ ඇත්ත වටිනාකම කියාවි. මේවා පරිභෝජනයට සුදුසු මට්ටමේ තියනවාද කියලත් කියාවි.

මේ අවුරුද්දේ ආහාරවල ප්‍රමිතිය පිළිබඳව ජනතාවට ලොකු භීතියක් ඇතිවෙලා තිබෙනවා. දංකොටුවෙන් අත්අඩංගුවට ගත්ත තෙල් බවුසර් දෙකේ පිළිකාකාරක අඩංගු බව ප්‍රමිති ආයතනයම කියනවා. අත්අඩංගුවට ගත්තේ බවුසර් දෙකයි. නමුත් බවුසර් 1000කට ආසන්න ප්‍රමාණයක් තිබුණු බව කියනවා. තව බවුසර් කීයක් බෙදාහැරලාද කියලා දන්නේ නැහැ. ආනයනය කළ පොල්තෙල්වල පිළිකා කාරක ද්‍රව්‍ය තිබෙන බව තහවුරු වුණාට පස්සේ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාමාර්ගය මොකක්ද? ප්‍රමිති ආයතනයේ තිබෙන්නේ විධායක ජනාධිපතිවරයාට. ප්‍රමිති ආයතනයේ වගකිවයුතු පුද්ගලයා විදිහට මේ සම්බන්ධයෙන් කිසිම වගකීමකින් මැදිහත් වෙන්නේ නැහැ. විෂ සහිත පොල්තෙල් ආනයනය කළේ කවුද කියලා රටට හෙළිකළේ නැහැ. රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම ආණ්ඩුවට තිබෙනවා. ප්‍රමිතියෙන් යුතු ආහාර සංස්කෘතියක් ඇති කරන්න මැදිහත් වෙනවා වෙනුවට ව්‍යාපාරිකයෝ ජනතාවට වස කවද්දී නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා.

මේ මොහොත වෙද්දී අපේ රටේ දවසකට පිළිකා රෝගයෙන් 38දෙනෙකු මිය යනවා. එසේ මිය යන සංඛ්‍යාව වැඩිකරන්න තමයි ආණ්ඩුව නිහඬව ඉන්නේ. ලෝකයේ විෂ ද්‍රව්‍ය අඩංගු ආහාර පරිභෝජනයට ගන්නා රටවල් අතර ලංකාව පෙරමුණටම ඇවිත් තිබෙනවා. අතීතයේදී කොස් මාමා, පරිප්පු මාමා, අධ්‍යාපනයේ පියා, වගේ ආමන්ත්‍රණ තිබුණා. මේ ජනාධිපතිවරයාට අනාගතයේ අහන්න ලැබෙන්නේ දරුවන්ට වස දුන් පියා කියලා. ජනතාවට වස කවන මාෆියාව නතර කරන්න ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් මැදිහත් වෙන්නේ නැහැ. ඒ නිසා වහාම මේ තත්වය තේරුම්ගෙන එය වළක්වා ගැනීමට ආණ්ඩුවට බලකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අවුරුද්දේ බොරු සහන මලු දීලා ජනතාව නොමඟ යැවීම ගැන දැනුවත් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ආණ්ඩුව දිගින් දිගටම ගෙන යන මේ මාෆියාවට එරෙහිව නැගී සිටින්න කියලා විශේෂයෙන් කාන්තාවන්ගෙන් අපි ඉල්ලා සිටිනවා.”

පොල්තෙල්වලින් පිසින ආහාර අපේ දරුවන්ට දෙන්න බයයි… ඔටුණු පැළඳලා බලයට ආපු ආණ්ඩුවේ ඔටුණු ගැලවිලා ජනතාව ඉදිරියේ නිරුවත් වෙලා… සරෝජා සාවිත්‍රී පෝල්රාජ් – අයිතීන් උදෙස් කාන්තාවෝ සංවිධානයේ සභාපති…

“අපේ රටේ ජනගහනයෙන් වැඩිම පිරිසක් සමරන අවුරුද්ද තමයි සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ. මේ කාලේ කැවුමක් කොකිසක්, මුං අලුවා ටිකක් හැදෙන්නේ නැති ගෙදරක් නැහැ. පහුගිය අවුරුද්දේ අවුරුද්ද සමරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා ජනතාව බලාපොරොත්තුවෙන් සිටියා මේ අවුරුද්ධ සතුටින් සමරන්න. ආණ්ඩුවක වගකීම තමයි රටක ජනතාවට සතුටින් ඉන්න පුළුවන් පරිසරයක් හදන එක. නිදහසේ පැරේ බැහැල යන්න පුළුවන් රටක්, බය නැතුව කෑම ටිකක් කන්න පුළුවන් රටක්, අවුරුද්දකට සැරයක් එන උත්සව සමයක දරුවන් සමඟ විනෝදෙන් ඉන්න පුළුවන් රටකට තමයි සතුටින් ඉන්න රටක් කියන්නේ.

මේ ආණ්ඩුවේ ඇමතිවරු වරු කියන කතා මොනවද? බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කියනවා හාල් කිලෝ 03ක් හතරදෙනෙක්ගේ පවුලකට සති දෙකක් ප්‍රමාණවත් කියලා. කිසිම ප්‍රායෝගිකත්වයක් නැති ඇමතිවරු තමයි අද මේ කතා කියන්නේ. එකක් බඩු මිල සම්බන්ධ ප්‍රශ්නයක් තිබෙනවා. අනෙක තමයි බඩුවල පිරිසිදු බව පිළිබඳ විශ්වාසය පළුදුවීම. සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාව වැඩිපුරම පරිභෝජනයට ගන්නේ මුං, කවුපි, කඩල, උඳු, තල සහ සහල් වැනි දේවල්. අද උඳු කිලෝවක් රුපියල් 1700ක් පමණ වෙනවා. කවුපි කිලෝව 1200ක්. රුපියල් 350ට තිබුණු මුං ඇට කිලෝව රුපියල් 850යි 1000යි. පහුගිය කාලේ අපේ රටේ තරුණ ඇමතිවරු කිව්වා පරිප්පු නැත්නම් මුං ඇට කන්න කියලා. අද ඒ ඇමතිවරු දැන් කොහෙද? කාන්තාවන්ට උත්තර ඕනෑ. දැන් මුං ඇටත් නැහැ. පරිප්පුත් නැහැ. අද වනවිට සෑම ආහාරයකම මිල ඉහළ ගිහින්. බී ළුෑණුවල සිට අල, පරිප්පු, කරවල හාල්මැස්සෝවල මිල ඉහළ ගිහින්. කුකුළු මස් කිලෝවක් 800ක් පමණ වෙනවා. රජයේ සේවකයින්ට පවා තමන්ගේ පවුලේ අය එකතු වුනාම අවුරුද්දට හොඳ කෑම වේලක් කනවා කියන එක දුෂ්කර කටයුත්තක් වෙලා. අලුත් ඇඳුමක් ගන්න මේ රටේ ආර්ථිකයක් නැහැ. අඩුම තරමේ ආණ්ඩුව මේ අවරුදු සමයේවත් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පහළ දමයි කියලා කාන්තා සංවිධානයක් විදියට අපි බලාපොරොත්තු වුනා.

ආණ්ඩුව කිව්වා සහල් මාෆියාව ඉවර කරනවා කියලා. නමුත් සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන හාල් රුපියල් 100න් එහා. රුපියල් 130ට පමණ තිබුණ කීරි සම්බා කිලෝව රුපියල් 200ට ආසන්න මිලකට ඉහළ ගිහින්. මිරිස් කිලෝවක් රුපියල් 1000කට ආසන්නයි.

ඒ වගේම මේ වෙනකොට ආහාර සම්බන්ධයෙන් තිබෙන විශාලම ගැටලුව ආහාරවල විෂ අන්තර්ගත වීම. පොල්තෙල්වල විෂ අන්තර්ගතවීම තමයි අද මාතෘකාව වෙලා තිබෙන්නේ. මීට කලින් කුණු සැමන් ගෙනාවා. සීනි බදු වංචාව. මේවා සියල්ලම ප්‍රමිති ආයතනයට සම්බන්ධයි. ජනාධිපතිවරයා යටතේ තමයි අද ප්‍රමිති ආයතනය තිබෙන්නේ. මේ වනතුරුත් මේ සිදුවීම්වලට චෝදනා ලබන ප්‍රමිති ආයතනයේ සභාපතිවරයාට කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නැහැ. ඒක තමයි ලොකුම ගැටලුව. රටක ආහාර සුරක්ෂිතතාවය කියන්නේ රටක ජාතික ආරක්ෂාවේම කොටසක්. ජනාධිපතිතුමා තෝරාපත්කර ගත්තේ ජාතික ආරක්ෂාව ගැන පූර්ණ වගකීම ගන්නවා කියලා මේ රටේ ජනතාවට පොරොන්දු වූ නිසා.

අපේ රටේ ජනතාවගෙන් පොල් තෙල් පාවිච්චි නොකර කෙනෙක් නැහැ. මම අම්ම කෙනෙක් විදියට ගෙදර දරුවන්ට කරවල කෑල්ලක් බදින විට මගේ හිතට තිගැස්මක් එනවා මගේ අතින් මගේ දරුවන්ට වස කවන්නද යන්නේ කියලා. මේ භීතිකාව මේ රටේ හැම අම්ම කෙනෙක්ටම තිබෙනවා. මෙහෙම භීතිකාවක් තිබෙනකොට කොහොමද සතුටින් ජීවත් වෙන්නේ. පොල්තෙල් වල පමණක් නෙවෙයි මිරිස්වල කිරිවල පැකට් කරන ලද ආහාර වල මාංශ භෝගවල මෙම විෂ ධූලක අඩංගු බව කියනවා. ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය කියනවා නිෂ්පාදන විශාල ප්‍රමාණයක මෙම විෂ අඩංගුවෙලා තිබෙනවා ඒවා හෙළි කරන්න විදියක් නැහැ ආයතන කඩා වැටෙනවා කියලා. ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් පත්කරලා තිබෙන්නේ එම ආයතනවල සුරක්ෂිතතාවය වෙනුවෙන් නෙවෙයි ජනතාවගේ සුරක්ෂිතභාවය වෙනුවෙන්. ප්‍රමිති ආයතනය කටයුතු කළ යුත්තේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. නමුත් ප්‍රමිති ආයතනය කට අරින්නේ සමාගම්වලින් ලැබෙන කොමිස් මුදල්වලට පමණයි.

1980 අංක 06 දරණ ආහාර ආරක්ෂණ පනත, 2003 අංක 09 දරණ පාරිභෝගික අධිකාරී පනත, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය ආරක්ෂණ ඒකකය, ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව කියන මේ සියලු ආයතන පොල් තෙල් ගෙන්වීම පිළිබඳ තමන්ගේ වගකීම පැහැර හැරලා කටයුතු කර තිබෙනවා. ජනතාව ආරක්ෂා කරන්න ගත්ත නීතිමය ක්‍රියාමාර්ග කෝ. නමුත් මේ ගැන ජනාධිපතිවරයා මුනිවත රකිනවා. දැන් ආණ්ඩුව ෆාම් ඔයිල් ගෙන්වීම නතර කරනවා කියලා ගැසට් එකක් ගැහුවා. ඒකෙන් විතරක් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්ද? නමුත් ෆාම් ඔයිල් ගෙන්වීමට බේකරි කර්මාන්තයට විශේෂ අවසරයක් තිබෙනවා. මේ ක්‍රියාමාර්ග මොනතරම් ප්‍රෝඩාකාරීද? ඒ නිසා එය පමණක් උත්තරය නෙවෙයි. අපිට පේන දේ තමයි මෙම පොල් තෙල් ගෙනාපු සමාගම් අදිසි හස්ථයක් විසින් ආරක්ෂා කරනවා කියන කාරණය.

ආහාර වල පමණක් නොව ආහාර නොවන රූපලාවන්‍ය වර්ගවල, ඖෂධ ද්‍රව්‍යවලත් විෂ අන්තර්ගත වෙලා තිබෙනවා. සහල් නිෂ්පාදනයේදී යොදාගන්න පොහොරවර්ගල වල විශාල වශයෙන් ආසනික් අන්තර්ගත බව සොයාගෙන තිබෙනවා. මේ ආණ්ඩුව පත්වෙන විට මේ රටේ ජනතාව ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වුන දෙයක් තමයි ජාතික ප්‍රතිපත්ති සකස් කරයි කියලා. රටේ මානව සම්පත යොදාගෙන රටේ සම්පත්වලින් රටට ගැලපෙන ආහාර සංස්කෘතියක් හදන එක ආණ්ඩුවේ වැඩක්. එවැනි ජාතික ප්‍රතිපත්තියක් අපිට අවශ්‍යයි. පොහොර වර්ග ගේනවීම අවම කරන්න අපිට පුළුවන්. විදෙස් සමාගම්වලින් ලැබෙන පොහොර වලට අපේ ගොවිතැන යට කරලා තිබෙනවා. මේකත් එක්තරා මාෆියාවක්. ලංකාවේ ආහාරවල විෂ අන්තර්ගත බව කාලාන්තරයක් තිස්සේ අපි කතා කරනවා. විෂ සහිත ආහාර අනුභව කරන රටවල් අතර සීග්‍රයෙන් ලංකාව ඉදිරියට පැමිණ තිබෙනවා.

මිනිස්සු බලාපොරොත්තු වුනා 2021 සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිදහසේ සමරන්න පුළුවන් වෙයි කියලා. කහ මිල දැක්කම කොකිස් කන්න විදියක් නැහැ. කැවුම් කන්න විදියක් නැහැ පොල්තෙල්වල විෂකාරක. කිරිබත් කන්න ගියාම සහල්වල සහ පොල්වල මිල කීයද? කිරිබත් කාලා හදා ගත්ත ආණ්ඩුවෙන් අවුරු එකහමාරක් යනකොට කිරිබතුත් නැහැ, කොකිසුත් නැහැ, කැවුනුත් නැහැ. අන්තිමේදී කරවල කෑල්ලක් බැදගෙන කන්න පොල්තෙලුත් නැහැ. ආණ්ඩුව ඔටුණු පැළඳලා තමයි පටන් ගත්තේ. දැන් ඔටුණු ගැලවිලා. ඔටුණු විතරක් නෙවෙයි සියලු සළුපිළි ගැලවිලා. ජනතාව ඉදිරියේ ආණ්ඩුව නිරුවත් වෙලා ඉවරයි. ඒ අතර ආණ්ඩුව රෑපරාජිණී තරඟයෙන් ගැලවෙච්ච ඔටුන්නෙන් තමන්ගේ විළි වහගන්න උත්සහ කරනවා. ඒක හාස්‍යයට කරුණක්.

පාස්කු ප්‍රහාරය ගැන උත්තරයක් නැහැ. පොල් තෙල් වංචට උත්තරයක් නැහැ. වනාන්තර කපා හෙළි කරනවා ඒවට උත්තර නැහැ. ක්ෂද්‍ර මූල්‍ය ණය අරගෙන ඊට ගොදුරු වෙලා ඉන්න සහෝදරියෝ සත්‍යග්‍රහයක ඉන්නවා. අද වෙනතුරු උත්තරයක් දීල නැහැ. අලි මිනිස් ගැටුම පිළිබඳ ආණ්ඩුව මුණිවත රකිනවා. ජනතාව අර්බුදයෙන් අර්බුදයට යනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා කුස්සියේ බර දරාගෙන ඉන්න කාන්තාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල කරලා සහනයක් දෙන්න කියලා. ආහාර වල සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් පියවර ගන්න කියනවා. ඒ වගේම විෂ පොල්තෙල් ගෙනා වගකිව යුත්තන්නට එරෙහිව පියවර ගන්න කියලත් ඉල්ලනවා.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්