බණ්ඩාරවෙල තවත් ගිලා බැසීමක්

බණ්ඩාරවෙල තවත් ගිලා බැසීමක්

බණ්ඩාරවෙල උඩපේරුව ප්‍රදේශයේ තවත් නිවාස කිහිපයක් ඊයේ (15) සිට යළි ගිලා බැසීමේ තත්වයක් උද්ගතව ඇති බවත් පොළවට විශාල ශබ්ධ සහිත පිපිරීම් සිදුවන බවත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කර සිටියේ මේ වනවිට නිවාස 4120ක් පුපුරාගොස් ගිලාබැසීමේ තර්ජනයට මුහුණ දී ඇති බවයි.

එම නිවාසවල ජීවත්වූ ජනතාවට තවදුරටත් එහි වාසය කළ නොහැකි බවත් ඔවුන් අන්ත අසරණ තත්වයට ඇද දමා ඇති බවත් සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගිය 03වනදා බණ්ඩාවෙල ප්‍රාදේශීය ලේකම් අතුළු බලධාරීන්ගේන් සැදුම්ලත් කමිටුවක් විසින් තමන් ඇතුළු පිරිසට සාකච්ඡාවක් ලබා දුන් බවත් එහිදී දුන් පොරොන්දු මේ විට කඩවී ඇති බවත් සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කරයි.

මෙම ප්‍රදේශවල ජනතාවට පසුගිය 04වනදා සිට කුරුඳු ගොල්ල ජල ව්‍යාපෘතියෙන් ජලය ලබා දීමට එම සාකච්ඡාවේදී පොරොන්දු වූ නමුත් මේ වනතෙක් එම පොරොන්දුව ඉටු කර නැතැයිද සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

උමාඔය බහුවිනාශකාරී ව්‍යාපෘතිය නිසා නිවාස අහිමිවන ජනතාවට ඊයේ (15) සිට බණ්ඩාරවෙල නගරයේ පිහිටි රජයේ නිවාසවලින් ඉඩ පහසුකම් සලසා දෙන බවද පසුගිය 03වනදා පැවති සාකච්ඡාවේදී පොරොන්දු වූ බවත් මේ වනතෙක් එම පොරොන්දුවද ඉටු කර නැති බවත් සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. එබැවින් පාලකයන්ගේ පොරොන්දු විශ්වාස කළ නොහැකි බවත් තමන්ට ලබාදුන් පොරොන්දු ඉටු නොකළොත් විපතටපත්වන ජනතාව සමග ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, පොලීසියට, හෝ ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාලද සිල්වා හෝ හරීන් ප්‍රනාන්දු යන ඇමතිවරුන්ගේ නිවාලට පැමිණෙන බවත් මෙහිදී සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

පරිසරවේදීන්ගේ, ප්‍රදේශයේ සංවේදී ජනතාවගේ, උගත් ආචාර්ය මහාචාර්යවරුන්ගේ විරෝධතා නොතකා මහින්ද රාජපක්ෂ ආරම්භ කළ මෙම විනාශකාරී ව්‍යාපෘතිය දැන් රනිල්-මෛත්‍රී පාලනයද එලෙසම කරගෙන යන බවත් එම ව්‍යාපෘතිය නතර නොකළොත් මුළු රටටම දැවැන්ත නියඟයන් වැනි පාරිසරික ප්‍රශ්ණයවලට මුහුණ දීමට සිදුවන බවත් මෙහිදී සමන්ත විද්‍යාරත්න මහතා වඅධාරණය කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්