සුඛෝපභෝගී ප්රාඩෝ රථ 227ක් ආනයනය කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුවට විරුද්ධව ඉදිරි දින කිහිපය තුළදී ශ්රේෂ්ඨාධිකරණය යෑමට ජාතික ජන බලවේගයේ නීතිඥ ප්රජාව සූදානම් බව නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අද (13) කොළඹදී කැඳවූ මාධ්ය හමුවකදී සුනිල් වටගල නීතිඥවරයා මේ අදහස් පළ කරනු ලැබීය. මෙම මාධ්ය හමුව සඳහා ශ්රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්ය අධ්යක්ෂකවරියක් වන නීතිඥ නිමලා සිරිවර්ධන මහත්මිය එක්ව සිටියහ. මාධ්ය හමුවේදී ඔවුන් දැක්වූ සම්පූර්ණ අදහස් මෙසේය….
ජාතික ජන බලවේගයේ නීතිඥ ප්රජාව ලෙස සුවිශේෂ කරුණු කාරණා කිහිපයක් සාකච්ඡා කිරීමට තිබෙනවා. මේ වනවිට ජනතාව අතර සාකච්ඡුාවට පත්වී තිබෙන පොලිස් මාධ්ය ප්රකාශවරයා ජනමාධ්ය ඉලක්ක කරගෙන නිකුත් කළ ප්රකාශය සහ මන්ත්රීවරුන් සඳහා වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් නීතිමය පැත්තෙන් පැහැදිළි කරන්න බලාපොරොත්තු වෙනවා. පොලිස් මාධ්ය ප්රකාශවරයා නිකුත් කර තිබෙන නිවේදනයට ශීර්ෂ යොදලා තිබෙන්නේ ”සමාජ මාධ්යයට සමාජ ජාලා ඔස්සේ විවිධ අසත්ය තොරතුරු, ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප්රචාරය කිරීම මගින් මහජනතාව අතර අසමගිය, වෛරය ඇතිකිරීම හා කොවිඞ් 19 මර්දනයට බාධා කිරීම” යනුවෙන්. පසුගිය 08වැනිදා මේ ලිපිය නිකුත්කර තිබෙනවා.
වෘත්තීයවේදන්ගෙන් සහ සමස්ත ශ්රී ලාංකිකයන්ගෙන් ආණ්ඩුවට දැවැන්ත විවේචනයක් විවිධ ක්ෂෙත්රවලින් එල්ල වී තිබෙනවා. කාබනික පොහොර ආනයනය, මන්ත්රීවරුන්ට වාහන ආනයනය කිරීම, ඛනිජ තෙල් මිල ඉහළ දැමීම, කොවිඩ් 19 වැලැක්වීමේ ක්රියාමාර්ග අසාර්ථක වීම, වගේම පොලිසිය භාර අමාත්යවරයා නිරූපන ශිල්පිනියක් සම්බන්ධයෙන් ප්රකාශ නිකුත් කිරීම, යුරෝපා සංගමයෙන් ත්රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි නොකිරීම ගැන විවේචනය කිරීම යන මූලික විවේචන විශාල ප්රමාණයක් තිබෙනවා. සමාජ මාධ්ය ජාලා මේ දැවැන්ත වංචාවන් සහ අසමත්කම් හෙළිකරන්න කාර්යභාරයක් කළා. ඒ අතරතුර පොලිස් මාධ්ය ප්රකාශකවරයා මේ නිවේදනය නිකුත් කරනවා. නිවේදනය තුළ ”වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත හැකියි” කියන කරුණ ඉහළට ගෙනත් තිබෙනවා. සමාජ මාධ්ය ක්රියාකාරිකයෝ සහ සාමාන්ය ජනතාව සැලකිය යුතු ප්රමාණයක් මේ සම්බන්ධයෙන් කරුණු විමසන්න පටන් ගත්තා.
මේ සම්බන්ධයෙන් පවතින යථාර්ථය කුමක්ද? වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම කියන්නේ එක්තරා ආකාරයක දඬුවමක්. ලංකාවේ පුරවැසියෙකු අත්අඩංගුවට ගත යුත්තේ නිසි වරෙන්තුවක් සහිතව ඇවිල්ලා. එහෙම නොවන අවස්ථා තිබෙනවා. මේ වනවිට සම්මත කර තිබෙන නීතියේ කොටස් කිහිපයක් අරගෙන පොලිස් මාධ්ය ප්රකාශකවරයා අලූතින් නීති පෙන්වනවා. ඒ නිවේදනයේ තිබෙන්නේ මොනවාද? දණ්ඩ නීති සංග්රහයේ 120 වගන්තිය ඇතුලේ වගන්ති ප්රමාණයක් දක්වා තිබෙනවා. 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර ප්රඥප්තියේ 3වන වගන්තිය, 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 6වැනි වගන්තිය සහ ත්රස්තවාදය වැලැක්වීමේ පනතේ 2 සහ 3 වගන්ති දාලා තියෙනවා. දණ්ඩ නීති සංග්රහයට ආදාල 120 හැර අනෙකුත් වගන්ති ළමා අපචාර, කාන්තා හිංසනය, ලිංගික අපයෝජනය, ජාතික ආරක්ෂාව අදාල වෙනවා. කිසියම් ක්රියාවකට අදාල කරුණු සම්බන්ධයෙන් දැක්වෙනවා. උදාහරණයක් හැටියට ලිංගික අපයෝජනයක් කළොත් අත්අඩංගුවට ගන්න වෙනවා. අත්අඩංගුවට ගන්නේ ක්රියාවත් එක්ක. මේ වගන්තිවල තියෙන්නෙත් ක්රියාවන්.
නමුත් ඔවුන්ගේ අරමුණ තියෙන්නේ වගන්ති දෙකකට. දණ්ඩ නීති සංග්රහයේ 120 එක වගන්තියක්. ඒකෙන් කියන්නේ වචනයෙන්, සංඥාවලින්, නිරූපනවලින් ශ්රී ලංකා ජනරජයට විරුද්ධව ජනයා වෛරයෙන් සහ අගෞරවයෙන් පෙළඹවීමක් කළොත් අත්අඩංගුවට ගත හැකි බව. මේ වගන්ති සම්බන්ධයෙන් තිබෙන පැහැදිලි කිරීම පොලිස් මාධ්ය ප්රකාශකවරයා කරන්නේ නැහැ. සාධාරණ විවේචනවලට මේ වගන්තියෙන් බාධා වෙන්නේ නැහැ. ඒ වගේම දණ්ඩ නීති සංග්රහය උපදින්නේ ඉංග්රීසි ආණ්ඩුව කාලයේ. එ අනුව මහ රැජිනියට එරෙහිව කරන වැරදි සම්බන්ධයෙන් විස්තර කරලා තියෙනවා. මහරජා කියන වචනය 2021 අංක 5 දරන දණ්ඩ නීති සංග්රහ පනතේ සංශෝධනය මගින් වෙනස් කළා. එයින් කළේ මහරජා වෙනුවට ජනාධිපතිවරයා කියන වචනය ඇතුළත් කළා. හැබැයි අතීත තත්වය අනුව ජනාධිපතිවරයා විවේචනය කරන්න බැරි බවට ආවරණයක් හදා ගත්තා. එංගලන්තයේ මහ රැජින හෝ මහරජා පත්වෙන්නේ මහජන ඡන්දයෙන් නොවේ. අපේ රටේ ජනාධිපතිවරයා පත්වෙන්නේ මහජන ඡන්දයෙන්. මේ නිසා 120 වගන්තිය ඇතුළේම විවේචනය කිරීමට තියෙන අයිතියට අභියෝග කරන්න බැහැ.
මේ සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු කිහිපයක් තිබෙනවා. තංගල්ලේ දේශපාලන පක්ෂ කාර්යාලයක ”මහජරා රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවමු” කියලා ගහලා තිබුණා. 120 වගන්තිය යටතේ පොලිස්ථානාධිපතිවරයා චූදිතයෙක්ව අත්අඩංගුවට ගත්තා. අපි එය ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කළා. අදහස් ප්රකාශ කිරීමේ හා භාෂණයේ අයිතියත් 120 වගන්තියෙන් විවේචනය කිරීමේ අයිතියත් මෙයින් උල්ලංඝනය වුණේ නැහැ කියලා එස්.සී.එෆ්.ආර්168/2010 නඩුවක් පැවරුවා. මේ වෙනුවෙන් මම පෞද්ගලිකව පෙනී හිටියා. ශ්රේෂ්ඨාධිකරණය මේ අයිතිවාසිකම් පිළිගත්තා. ශ්රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව සිංහලට පරිවර්තනය කරලා මම කියන්නම්. ”එස්.සී,එෆ්.ආර්. 556, 557/2008 නඩුකර දෙකේදී ශ්රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුව – ව්යාජ පුවත් වන්නේ හෝ නොවන්නේ කුමක්ද යන්න තීරණය කිරීම පොලීසිය ඇතුළු විධායකයට අපි භාර දී සිටිනවාද? පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම මෙවැනි තත්වයකදී නීති විරෝධියි” කියලා ශ්රේෂ්ඨාධීකරණය තීන්දු කර තිබෙනවා. ”ආණ්ඩුවලට සහ දේශපාලන පක්ෂවලට අදාලව, ප්රතිපත්ති හා වැඩසටහන්වලට සහාය දීම හෝ විවේචනය කිරීම ප්රජාතාන්ත්රික ජීවිතයේ මූලිකාංග වේ. එම විරෝධාකල්ප ඉවසීම පමණක් නොව ඒවා දිරි ගැන්වීමද ප්රජාතන්ත්රවාදය සඳහා අවශ්ය වේ.” කියලා වැඩි දුරටත් සඳහන් කරනවා.
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ තහවුරු කර තිබෙන භාෂණයේ හා ප්රකාශනයේ අයිතීනුත් මහජනතාවට තිබෙන බව ශ්රේෂ්ඨාධිකරණය ඉහත නඩුවලදී තහවුරු කළා. ”දැඩි විවේචනයක් හෝ විරෝධයක් හේතුවෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම යනු සමාජයේ පාර්ශ්වකරුවෙකු ලෙස බැරෑරුම් අදහස් බෙදා හදා ගැනීමේ හෝ නිදහසේ අදහස් ප්රකාශ කිරීමේ පුරවැසි නිදහස උල්ලංඝනය කරනු ලබන භයානක තත්වයකි.” කියලා වැඩි දුරටත් තහවුරු කරනවා. පැමිණිල්ලක් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයකට පෙර ව්යාජ ප්රවෘත්ති සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුකිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් අන්දමින් එය කළ යුතුය කියලත් අවධාරණය කරනවා.
අපරාධ නීතියේ තියෙන සිද්ධාන්තය මිනිසුන් අත්අඩංගුවට ගැනීම නෙවෙයි. කිසියම් පුද්ගලයෙක් විමර්ශනයක් කරන්න අත්අඩංගුවට ගන්න ඕනෑ කියලා අනිවාර්ය නැහැ. නමුත් පොලිස් මාධ්ය ප්රකාශකවරයාගේ ප්රකාශනයෙන් අදහස් ප්රකාශ කරන්න සීමාවල් පනවන්න උත්සාහ කරනවා. නමුත් ශ්රේෂ්ඨාධිකරණයෙන් මීට අදාලව පැහැදිලි අර්ථ නිරූපණ දී තිබෙනවා. ත්රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ක්රියාත්මක දඬුවම් පනත මගින් ආරක්ෂක ලේකම්වරයාට පුද්ගලයෙක් රඳවා තබා ගැනීමේ අවස්ථාව මාස 18කට ලබාදී තිබෙනවා. ත්රස්තවාදය වැලැක්වීමේ පනත ගෙනාවේ 1979දී. මේ පනතට අදාලව අමතක කළ වචනයක් තිබෙනවා. 1979 අංක 47 දරන ත්රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධි විධාන පනත හැටියට නම් කළාට දැන් දශක කීයක් ක්රියාත්මක වෙනවාද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අද ක්රියාත්මක කරන්නෙත් මේ තාවකාලික පනත. ඒ නිසයි යුරෝපා කොමිසමෙන් මේ පනත ඉවත් කරගන්න බලපෑම් කරන්නේ.
මන්ත්රීවරුන්ට වාහන ගෙන්වීමේ කැබිනට් සංදේශයක් මහින්ද රාජපක්ෂ මහත්තයා දාලා තියෙනවා. ජාතික ජන බලවේගය හැටියට අපි මේ සම්බන්ධයෙන් ලබන සතියේදී ශ්රේෂ්ඨාධිකරණයේ නඩු පවරනවා. මූලික කාරණා දෙකක් ඊට පදනම් කරගන්නවා. මැයි 18වැනිදා කැබිනට් පත්රිකාවෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා තවත් වාහන අතර ප්රාඩෝ ජීප්රථ 227ක් ගන්න සූදානම් වෙනවා. නමුත් 24වැනිදා කැබිනට් මණ්ඩලයේදී ඒ තීරණය අත්හිටවූ බව මාධ්යයට ප්රකාශ කළා. නමුත් මාධ්ය ප්රකාශක ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් පරස්පර විරෝධී කථා දෙකක් කියා තිබෙනවා. ණයවර ලිිපි නිකුත්කර තිබෙන නිසා ඒ වාහන ගෙන්වන්න සිදුවෙන බව කියා තිබෙනවා. ඒ අතරම ඊට පස්සේ කියනවා, වාහන ගෙන්වීම අත්හිටුවලා තිබෙන බව. හැබැයි මහා භාණ්ඩාගාර ලේකම් තවත් කතාවක් කියනවා. පෝට් සිටි පනතට පක්ෂව ඡන්දය දුන් මන්ත්රීවරුන්ට දෙන්න මේ ප්රාඩෝ රථ ගේන්න සූදානම් වෙන බව පැහැදිලියි. හැබැයි කැබිනට් සංදේශය ඉදිරිපත් කළ 18වැනිදා එය අහෝසි කළ 24වැනිදාත් කියන දින දෙකටම කලින් අප්රේල් මාසේ 22වැනිදා මහා භාණ්ඩාගාර ලේකම්වරයා ලංකා බැංකුව හරහා ණයවර ලිපි නිකුත් කරනවා.
මේ සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කරනවා. ඊළඟට දෙවනුව මහජන භාරය කියන නීතිමය සංකල්පය අනුව කටයුතු කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ රට බාර දී තිබෙන්නේ අවුරුදු 5ක මහජන භාරයක් හැටියට. එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධ නඩුවේදී, වෝටර්ස් ඒජ් නඩුවේදී ශ්රේෂ්ඨාධිකරණය මේ මහජන භාරය තහවුරු කර තිබෙනවා. මේ අනුව මහජන භාරය සිද්ධාන්තයට පටහැනි වීම නීතිය අභිබවා යන තත්වයක්. ඒ නිසා අපි මේ බව ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරනවා. කොවිඩ් 19 මර්දනය කරන්න එන්නත් ටික ගන්න සල්ලි නැතිව ඉන්නවා. ඒ අතරේ මේ වාහන ගේනන යනවා. මහජන භාරය ඒකද? ගොවියගේ අස්වැන්නට සෘජුවම බලපාන පොහොර ටික නැහැ. විදෙස් සංචිත නැති නිසා පොහොර ගෙන්වන්නේ නැහැ. ඒ අනුව ගොවියත් එක්ක තියෙන මහජන භාරය ඉෂ්ට කරන්නේ නැහැ. මේ වගේ තත්වයන් නිසා ණයවර ලිපිය අහෝසි කරන්න හෝ එහෙම බැරිනම් ඒ වාහනවල වෙළඳපොළ වටිනාකම මහා භාණ්ඩාගාරයට ලබාගන්න කියලා නියෝග කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. ශ්රේෂ්ඨාධිකරණය මේ ඉල්ලීම්වලට ඇහුම්කන් දීලා මහජන භාරයේ අයිතිය තහවුරු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
ශ්රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපන පැත්තකට දාලා පොලිස් මාධ්ය ප්රකාශකවරයා වැරදි ප්රකාශ නිකුත් කරනවා – නීතිඥ නිමලා සිරිවර්ධන
මම මෙහිදී අම්ම කෙනෙක් විදිහට, පුරවැසියෙක් විදිහට සහ කාන්තාවක් විදිහට පොලිස් මාධ්ය ප්රකාශකවරයාගේ නිවේදනය දකින්න ඕනෑ කොහොමද කියලා පැහැදිලි කරනවා. කොවිඩ් වසංගත තත්වය යටතේ අපේ දරුවන්ගේ අධ්යාපනය මූලික කරගෙන බරපතල තත්වයන් මතුවී තිබෙනවා. විශේෂයෙන්ම විශ්වවිද්යාල දරුවෝ කරුණු හොයාගන්නේ අන්තර්ජාලය එක හරහා. ඒ වගේම තමන්ගේ අදහස් ප්රකාශ කරන්න අවස්ථාව තියෙන්නේ සමාජ මාධ්ය හරහා. ඔවුන්ට යම් යම් කාරණා සම්බන්ධයෙන් විවේචනයන් තිබෙනවා. සමාජ පරිණාමයේ එක යුගයක රජ්ජුරුවෝ කියන දේ විශ්වාස කරන්න සිද්ධ වුණා. නමුත් එය සත්යය නෙවෙයි කියලා පසු කාලයක ඔප්පු වුණා. රජ්ජුරුවන්ගේ අත්අඩංගුවට අරගෙන වස පොවලා මරා දාපු විද්යාඥයන් හිටියා. එවැනි පසුගාමී සමාජයකට යන්න උත්සාහ කරනවාද කියන එක මේ මාධ්ය නිවේදනයෙන් අපිට සැකයක් මතුවෙනවා. අසත්ය හෝ වෛරීය ප්රකාශන සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවල පැහැදිලි අර්ථ නිරූපන දී තිබෙනවා. එහෙම තත්වයක් යටතේ පොලිස් මාධ්ය ප්රකාශකවරයා අලූතින් නිකුත්කර තිබෙන නිවේදනය සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමුකළ යුතු වෙනවා.
මේ ආණ්ඩුව බලයට පත්වෙන විට ප්රධාන වශයෙන්ම ජනතාවට කීවේ පාස්කු ප්රහාරයේ වැරදිකරුවන් හොයලා දඬුවම් කරනවා කියලා. එය නොකරනකොට මහජනතාවගෙන් විවේචන එල්ල වෙනවා. මෙවැනි විවේචනයන් මගහරවා ගන්න ආණ්ඩුව මේ වැරදිකරුවන් රටට හෙලිදරව් කර සත්යය පැහැදිලි නොකර මහජනතාවගේ විවේචන වළක්වන්න වැඩ කරමින් ඉන්නවා. මේ සම්බන්ධයෙන් අපේ බලවත් විරෝධය පල කරනවා. ලෝකය වටේ ඉර කැරකෙනවා වෙනුවට ඉර වටේ ලෝකය කැරකෙන බව තහවුරු වී තිබෙනවා. මේ තත්වය පැහැදිලිව වගකිව යුත්තන් තේරුම් ගත යුතුයි. නිවැරදි දේ බාරගත යුතුයි.











