කොළඹ වරාය නගර ආර්ථික කොමිසම නැමති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කරන ලද පෙත්සම් 19 පිළිබඳව ඉකුත් 19 වැනි දින ආරම්භ වූ පංච පුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩල නඩු විභාගය අද (22) දිනයෙන් අවසන් වීමට නියමිතය.
ඒ අනුව හෙට සිකුරාදා (23) දහවල් 12ට පෙර එකී පෙත්සම් විභාගයේදී ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් තවදුරටත් ප්රකාශ කළ යුතු යමක් ඇත්නම් ඒවා ලිඛිත ප්රකාශ වශයෙන් ඉදිරිපත් කරන ලෙස පෙත්සම් පාර්ශ්වයටත් පෙත්සම්වලට එරෙහිව ඉදිරිපත්වූ මැදිහත්කාර පෙත්සම් පාර්ශ්වයටත් විනිසුරු මණ්ඩලය විසින් ඊයේ (21) දැනුම් දී තිබේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරිනි මුර්දු එන්.බී. ප්රනාන්දු, විනිසුරු ප්රියන්ත ජයවර්ධන හා විනිසුරු ජනයක්ද සිල්වා යන පිරිසෙන් සැදුම්ලත් පංච පුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ ඊයේ (21) තෙවැනි දිනයටත් පස්වරු 10.00 සිට පස්වරු 5.00ත් පසුවනතුරුත් මෙම පෙත්සම් විභාගය පැවැත්විණි.










