පෝට් සිටි කොමිෂන් සභා පනත් කෙටුම්පතට විරුද්ධව ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සම් ඊයේ (20) දින විභාග කළ අවස්ථාවේදී පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තවත් වැදගත් කරුණු රැසක් හෙළිකර තිබුණි.
එම කරුණු පහතින් දැක්වේ.
ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කළ කරුණු –
- වරාය නගරය සම්බන්ධ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට මිස ජනාධිපතිවරයාට සිදුකළ නොහැකි බව.
- මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්රම ව්යවස්ථාවේ මූලික හරයන්ට පවා පටහැනි බව.
- රජයේ ඉඩම් පැවරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන බව.
- එයින් ජනාධිපතිවරයා වෙන්දේසිකරුවෙකු බවට පත්වීම.
- මෙම කොමිසන් සභාවට සීමා රහිත බලයක් දී තිබීම.
- හෙක්ටයාර් 446ක මෙම ඉඩම වෙනත් රටකට විකිණීමේ බලය කොමිෂන් සභාවට ලබාදී තිබීම.
- මෙම කෙටුම්පත සම්බන්ධ ප්රශ්න හුදු අර්ථ නිරූපණයකට පමණක් සීමා නොවීම.
- ආයෝජන ප්රවර්ධන මණ්ඩලයට තිබෙන පැහැදිලි නෛතික ක්රියාවලිය මෙම වරාය නගරයට අදාළ නොවීම.
- මේ තුළ සිටින්නන් බදුවලින් නිදහස් කර, ඉන්පිට සිටින ශ්රී ලාංකිකයන් බදු ගෙවිය යුතුවීම.
- වෙනම රටක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ කොන්දේසි සපුරාලන මොන්ටි වීඩියෝ සංකල්පයට අවස්ථාවක් සැලසීම.
- මෙම කලාපය තුළ ශ්රී ලංකා රුපියල් හැර චීන යුවාන් හෝ ඩොලර් වැනි මුදල් එ්කක භාවිතා කළ හැකිවීම.
- මෙම කලාපය බැංකුවලට විශාල බදු සහන දීමෙන් මෙරට බැංකු පද්ධතියම බිඳවැටීමේ අනතුර මතුවීම.
- අපේ රට කළු සල්ලි සුදු කරන රටක් ලෙස ලෝකයේ ලැයිස්තුගත වීමේ අනතුර.
- මෙම කලාපයේ කටයුතුවලට ශ්රී ලංකා පොලිසියට හෝ ත්රිවිධ හමුදාවට මැදිහත්වීමට නොහැකි වීම.
- ඒ නිසා මල්ටි බැරල් හෝ න්යෂ්ටික බෝම්බ ගෙනඒම වැනි තර්ජනයක් මතුවීම.
ජනාධිපති නීතිඥ ක්රිස්මාල් වර්ණකුලසූරිය ඉදිරිපත් කළ කරුණු,
- කොමිෂන් සභාව අවසර දෙන පුද්ගලයන්ට හැර වෙනත් කිසිවෙකුට මෙම කලාපයේ ව්යාපාර කළ නොහැකිවීම.
- මේ නිසා එක් ජන කොටසකට විශේෂ සැලකිල්ලක් දක්වමින් ආණ්ඩුක්රම ව්යාවස්ථාව උල්ලංඝනය කිරීම.
- මේ නගරය තුළ සිටින්නන්ගේ වාණිජ සහ සිවිල් නඩුවලට ප්රමුඛත්වය දිය යුතු වීම.
- එය මෙරට දිළිඳු ජනතාවට අධිකරණයේ සමානාත්මය ලබාගැනීමට නොහැකි වීම.
- විශේෂ ජන කොටසක් නිර්මාණය කර, ඔවුන්ට අධිකරණ කටයුතුවලදී ප්රමුඛස්ථානය ලබාදී තිබීම.
නීතිඥ සිරාල් ලක්තිලක ඉදිරිපත් කළ කරුණු,
- මෙම කලාපය තුළ සංවර්ධන පාලන ආයතනයක් පිහිටුවීමේ ඉඩ ලබාදීම.
නීතිඥ නාගානන්ද ඉදිරිපත් කළ කරුණු,
- ආනයනය – අපනයන, ආහාර, ආගමන – විගමන යනාදී පනත් අතික්රමණය කිරීම.
- මෙම පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කළ යුතු විම.
- එසේ නොවන්නේ නම්, පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් නොව 2/3 බහුතරයෙන් සම්මත කර, ජනමත විචාරණයකින් සම්මත කළ යුතුවීම.
නීතිඥ ඉක්රාම් මොහොමඩ් ඉදිරිපත් කළ කරුණු,
- පාර්ලිමේන්තුවේ ව්යාවස්ථාදායක බලයට යටත් නොවන වෙනම කලාපයක් නිර්මාණය කිරීම.
- කෙටුම්පතේ වගන්ති රැසක් මෙරට නොවන පුරවැසියන් වෙනුවෙන් නිර්මාණය කර තිබීම.
- කොමිෂන් සභාවට පත්කරන සාමාජිකයන් කවුරුන්ද යන්න පැහැදිලිව දක්වා නොතිබීම.
ජනාධිපති නීතිඥ උදිත ඉහළ හේවා,
- ව්යවස්ථාදායකයේ බලය කොමිසම හරහා ක්රියාත්මක කිරීමට සූදානම්වීමෙන් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 148 ව්යාවස්ථාව උල්ලංඝනය විම.
නීතිඥ රවීනා ගයේන්ද්රි ද සිල්වා වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු,
- විදෙස් රටවල පුද්ගලයන්ට වුවද මෙම කලාපය තුළ නීතිඥවරුන් ලෙස කටයුතු කළ හැකිවීම.
- එයින් මෙරට නීතිඥවරුන්ගේ අයිතීන් උල්ලංඝනය වීම.
යන ප්රමුඛ කරුණු අදාළ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කර තිබේ. පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වීම ඊයේ දින අවසන් වූ අතර, එම පෙත්සම්වලට විරුද්ධව ඉදිරිපත් කර තිබෙන අතරමැදි පෙත්සම් සහ වගඋත්තරකරුවන් වෙනුවෙන් කරුණු දැක්වීම් අද (21) සිට සිදුකෙරේ.










