රට තුළ තම පොහොර ප්රතිපත්තියට විරෝධය දක්වන්නේ අස්වැන්න වැඩි කරගැනීමට වැඩියෙන් පොහොර යොදන ගොවියන් සහ රසායනික පොහොර සඳහා සහාය දක්වන කණ්ඩායම් බව දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වූ ජනාධිපති ගෝටාබය රාජපක්ෂ සඳහන් කරයි.
ඔහු මේ බව පැවසූවේ ස්කොට්ලන්තයේ ‘ග්ලාස්ගො’හිදී පැවැත්වෙන COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව “නයිට්රජන් නැවත සොයා ගැනීම : දේශගුණික විපර්යාස, සෞඛ්ය ජෛව විවිධත්වය සහ චක්රීය ආර්ථිකය සඳහා විසඳුම් සහ ක්රියාකාරීත්වය” තේමාව යටතේ ශ්රී ලංකාව සංවිධාන කළ විශේෂ සම්මන්ත්රණය අමතමිනි.
සිය රජයේ ප්රතිපත්ති රාමුව තිරසර සංවර්ධනය බව මෙහිදී අවධාරණය කර ඇති ජනාධිපති ගෝටාබය රාජපක්ෂ දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය වෙනුවෙන් ශ්රී ලංකාවේ යාවත්කාලීන කළ ජාතික නිර්ණයන් සහ අභිලාෂයන්ගෙන් ඉන් පිළිබිඹු වන බව සඳහන් කර ඇත.
නවීන විද්යාත්මක ශිල්පීය ක්රමවේද සහ හුරුපුරුදු භාවිතයන් තුළින් පරිසරය විනාශ නො කොට කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීම තමා හමුවේ ඇති අභියෝගයක් බවත් දශක ගණනාවක් පුරා නිදන්ගත වකුගඩු රෝගය ශ්රී ලංකාවේ ගොවි ජනතාව අතර බරපතළ ගැටලුවක් වී තිබෙන බවත් රසායනික පොහොර අධික ලෙස භාවිත කිරීම මීට ප්රමුඛ හේතුවක් බවත් ජනාධිපතිවරයා එහිදී ප්රකාශ කර ඇත. රසායනික පොහොර ආනයනය අවම කිරීමටත් කාබනික කෘෂිකර්මාන්තය දැඩි ලෙස දිරිමත් කිරීමටත් තම රජය පියවර ගත්තේ මෙම සන්දර්භය තුළ බවද ඔහු කියා තිබේ.
මෙම ක්රියාව පුළුල් ඇගයීමට ලක් ව ඇතත් ඊට විවේචන සහ විරෝධතා එල්ල වී ඇතැයිද රසායනික පොහොර සඳහා සහාය දක්වන කණ්ඩායම්වලට අමතරව, අස්වැන්න වැඩි කර ගැනීමේ පහසු මාධ්යයක් ලෙස පොහොර අධික ලෙස භාවිතා කිරීමට පුරුදු වී ඇති ගොවීන්ගෙන් මෙම විරෝධතා පැමිණ ඇති බවත් ඔහු පවසා ඇත.
පරිසරය පිළිබඳ ශ්රී ලංකාවේ ප්රගතිශීලි න්යාය පත්රයක් ක්රියාත්මක වන බවත් ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.










