පේරූ රාජ්‍යයේ සමාජවාදී ජයග්‍රහණය ආපසු හැරවීමට හමුදා කුමන්ත්‍රණයක් ?

පේරූ රාජ්‍යයේ සමාජවාදී ජයග්‍රහණය ආපසු හැරවීමට හමුදා කුමන්ත්‍රණයක් ?

ජනාධිපතිවරණය පැවත්වී දින දහයක් ගතවී ඇතත් ජයග්‍රාහක පේරු වාමාංශික පෙරමුණේ ජනාධිපති pedro castilloගේ ජය තහවුරු කරමින් එරට මැතිවරණ කොමිසම(JNE) තවමත් අවසන් ප්‍රථිපලය නිකුත් කර නොමැත. මේ වනවිට වාමාංශික අපේක්ෂකයා 50.12% ක් ලබාගෙන දක්ෂිණාංශික Keiko Fujimori(49.8%) ට වඩා චන්ද 44;000කින් ඉදිරියෙන් සිටි. Keiko Fujimori විසින් ලක්ෂ 2ක චන්ද සංඛ්‍යාවක් අවලංගු කරන ලෙස ඉල්ලා මැතිවරණ පැමිණිල්ලක් එරට මැතිවරණ කොමිසමට ඉදිරිපත් කිරීම නිසා අවසන් ඡන්ද ප්‍රථිපලය ලබාදීම ප්‍රමාද වෙමින් පවතී. ඒ අතර හිටපු හමුදා නිලධාරීන් කණ්ඩායමක් මැතිවරණ ප්‍රථිපලය අවලංගු කර හමුදා පාලනයක් ස්ථාපිත කරන ලෙස කරන ලද ඉල්ලීමක් නිසා එරට අර්බුදය තවත් උග්‍රවී ඇත.

මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ඉල්ලීමත් සමග ජනාධිපතිවරණය අවසන් වනතුරු එරට තාවකාලික ජනාධිපති තනතුර හොබවන Francisco Sagasti මීට පැය කීපයකට පෙර රුපවාහිණිය මගින් ජාතිය අමතා ප්‍රකාශ කරනු ලැබුවේ 100කට අධික හිටපු විශ්‍රාමික හමුදා නිලධාරින් පිරිසක් අත්සන් කරන ලද ලිපියක් මගින් pedro castillo බලයට පැමිණීම වැලක්වීමට හමුදාවේ මැදිහත් වීමක් ඉල්ලා සිටිමින් සිදුකරන ලද ඒකාබද්ධ ප්‍රකාශණය තමන් තරයේ හෙලා දකින බවත්ය.

“හමුදා, නාවික හා ගුවන් හමුදා වල දැනට සේවය කරන හමුදා සාමාජිකයින් රජයට එරෙහිව උසිගන්වමින් ජනතා මුදල් වලින් විශ්‍රාමික වැටුප් ලබන මෙම පුද්ගලයින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය හා සාමය අභියෝගයට ලක්කරමින් සිදුකරන ලද මෙම ප්‍රකාශනය මා තරයේ හෙලා දකිනවා. රටේ ව්‍යවස්ථාව හා ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කරමින් සිදුකරන ලද මෙම ප්‍රකාශනයේ වගඋත්තරකරුවන් පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස මා නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා” යයි Francisco Sagasti තවදුරටත් ඉල්ලා සිටියේය.

හිටපු හමුදා නිලධාරීන් තම ඒකාබද්ධ ප්‍රකාශනය මගින් ඉල්ලා ඇත්තේ pedro castillo බලයට පැමිණීමට සහය ලබා දී ඇත්තේ දැනට බලයේ සිටින පුද්ගලයින් හා රාජ්‍ය සේවයේ නියතු පුද්ගලයින් බවයි. මෙම ඒකාබද්ධ ප්‍රකාශනය හෙලා දකිමින් එරට තවත් විශ්‍රාමික හමුදා හා නාවික ජෙනරල් වරුන් 64 දෙනෙකු තවත් ප්‍රකාශනයක් මාධ්‍ය වෙත ලබාදෙමින් රටේ හමුදා සාමාජිකයින්ට අවධාරණය කර සිටිනුයේ “ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුලදී නිත්‍යානුකුල හා වෘත්තීය හමුදාවකට තේරීමක් තිබිය නොහැකි බවත් ඔවුන් දේශපාලනිකව ස්වාධීන හා මධ්‍යස්ථ වියයුතු අතර රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටිය යුතු” බවත්ය.

මේ අතර මැතිවරණ නිරීක්ෂකයින් ලෙස සහභාගිවූ ඇමරිකන් සහය ලබන කලාපයේ ලිබරල් ආයතනයක් ලෙස පිළිගැනෙන ඇමරිකානු රාජ්‍යයන්ගේ සංවිධානය (Organization of American States) තම අවසන් වාර්තාවෙන්ද සනාථ කර ඇත්තේ සමස්ථයක් ලෙස මැතිවරණය සාමකාමිව හා සාධාරණව පැවති බවත්ය. ඒ අතර pedro castillo ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ එරට රතු ඉන්දියානු ජනතාව ප්‍රකාශ කරනු ලබන්නේ castillo ගේ ජයග්‍රහණය ආපසු හැරවීමට උත්සහ කළහොත් එරට අගනුවර ලීමාව ආක්‍රමණය කිරීමට තමන් කිසිසේත් පසුබට නොවන බවත්ය. එජා සංවිධානයද නිවේදනයක් නිකුත්කරමින් ජයග්‍රහණය හා පරාජය සාමකාමිව පිළිගන්නා ලෙස පේරූ ජනතාවගෙන් ඉල්ලා සිටි.

Keiko Fujimori මෙම මැතිවරණයෙන් පරාජය වුවහොත් ලතින් ඇමරිකාවේ සිදුවූ සුප්‍රකට දුෂිත බහු ජාතික සමාගමක් වන බ්‍රසීල Odebrecht න් අල්ලස් ගැනීමේ චෝදනාව යටතේ වසර 20ක සිර දඬුවමකට යටත්වීමට ඇයට සිදුවේ. ෂියන්පාත් ගරිල්ලන් මර්දනයේදී සිදුකරන ලද යුධ අපරාධ හා දුෂිත චෝදනා හේතුවෙන් ඇයගේ පියා සිටිනුයේද මේවනවිට සිරභාරයේය. ඒ අනුව Fujimori පවුලේ මෙම මරාගෙන මැරෙන මෙහෙයුම ස්වභාවිකය.

මෙම මැතිවරණයේ දෙවන වටය අවසාන වූ වහාම අන්තර් ජාතික මුල්‍ය අරමුදලද ඩොලර් බිලියන 11ක් පේරූ ආර්ථිකයට පොම්ප කර තිබිණි. ඒ අතර දිදුලන මාවතේ ෂියන්පාත් මාවෝවාදී ගරිල්ලන් සිදුකලා යයි පැවසෙමින් ගැමියන් 18දෙනෙකු කපා කොටා මරාදැමුනු ලැබුවේ pedro castilloට ත්‍රස්ත්‍රවාදී ලේබලය අලවමිනි. මෙම සියළුම මෙහෙයුම් පරාජය කරමින් pedro castillo සීමිත ජයක් වාර්තා කර ඇත. දුෂිත Fujimori පවුල වෙනුවෙන් මුල්‍ය අරමුදලට IMF හෝ (OAS) කිසිදු ලිබරල් ආයතනයකට දැන් ප්‍රසිද්ධියේ පෙනී සිටිය නොහැකි තත්වයක් උදා වී ඇත. එවැනි මෙහෙයුමක් ඔවුන්ගේ ලිබරල් ප්‍රතිපත්ති වලට පවා පටහැනිය. ඒ අනුව pedro castillo ගේ ජය තහවුරු වී හමාරය. ඔහුගේ ජයග්‍රහණය බොලිවියාවේ Evo morales විසින්ද පිළිගෙන ඇත.

කුඩා මාක්ස් ලෙනින්වාදී පක්ෂයක පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ pedro castillo ගේ ජයග්‍රහණය ආපසු හැරවීමට බාහිර හා අභ්‍යන්තරව සිදුවූ මෙහෙයුම් දෙස සලකා බලද්දී ඉතිහාසයේ කුඩා හෝ ප්‍රගතිශීලි පෙරමුණකට බලය ලබාදීමට පාලක ධනපති පාලනයන් සුදානම් නොමැති බව තවදුරටත් ඔප්පුවෙමින් පවතින බව මේ පිළිබඳව අදහස් පලකරන ලෝක වාමාංශික බුද්ධිමතුන් මේ අතර පවසා සිටිති. දැන් ඉතිරිව ඇත්තේ pedro castillo විසින් තමා සැබෑ සමාජවාදියෙකු බව ලොවට පෙන්වීම පමණක් බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්