මෙතෙක් මිලදී ගත් ඉන්ධන සඳහා පෙබරවාරි මාසය අවසන් වනවිට ඩොලර් මිලියන 700ක් පියවිය යුතුව ඇතැයි බලශක්ති අමාත්යාංශයේ ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා පවසයි.
පසුගිය වසරේ ජූනි – ජූලි මාසවල තෙල් මිලදී ගැනීම සඳහා විවෘත කළ ණයවර ලිපි වෙනුවෙන් මේ මාසයේ දී ඩොලර් මිලියන 330ක් ගෙවිය යුතුව තිබේ. එසේම පෙබරවාරි මාසය තුළ තෙල් මිලදී ගැනීම සඳහා තවත් ඩොලර් මිලියන 350-400 අතර මුදලක් වැය වෙතැයි ගණන් බලා ඇත. මේ අනුව පෙබරවාරි මාසය අවසන් වනවිට ඩොලර් මිලියන 700ක් තෙල් සංස්ථාව විසින් සොයා ගත යුතුව ඇත.
මීට කලින් තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයෙන් ඩොලර් ලබාගෙන තිබුනද විදුලිබල අමාත්ය ගාමිණී ලොකුගේ පැවසුවේ ඔවුන් LIOC සමාගමෙන් මින් පසු තෙල් මිල දී ගන්නා බවයි. ලංකා බැංකුව සහ මහජන බැංකුවද තෙල් සංස්ථාවට ඩොලර් නිකුත් කිරීම සඳහා දැඩි කොන්දේසි පනවා තිබේ. මේ අතර Petro china සමාගමෙන් ලබාගෙන තිබූ දින 180 ණයවර පහසුකම මේ මාසය වනවිට අවසන් වන බවද වාර්තාවේ.










