පිල්ලෙයාන්ට එරෙහි වාරණයක් ඉල්ලයි

නැගෙනහිර පළාත් සභාව පස්‌ අවුරුදු කාලසීමාව අවසන් වීමට නියමිත 2013 මැයි 10දාට පෙර විසුරුවා හැරීම සඳහා කිසිදු පියවරක්‌ ගැනීම වළක්‌වාලමින් එම පළාතේ ආණ්‌ඩුකාරවරයාට නියෝගයක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට “රිට්‌” පෙත්සමක්‌ ගොනු කර ඇත.

පස්‌ අවුරුදු කාලසීමාව අවසන් වීමට පෙර එය විසුරුවා හරින ලෙසට නැගෙනහිර පළාත් ආණ්‌ඩුකාරවරයාට උපදෙස්‌ දීමෙන් වළකින්නැයි නැගෙනහිර පළාත් මහ ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාට (පිල්ලෙයාන්) නියෝග කරන ලෙස එම පෙත්සමෙන් ඉල්ලා ඇත.

නැගෙනහිර පළාත් සභාව ඉක්‌මණින්ම විසුරුවා හැරීමේ සූදානමක්‌ ඇති බවට විද්යුත් හා මුද්‍රිත ජනමාධ්‍යවල ප්‍රවෘත්ති ගණනාවක්‌ පළවීමෙන් අනතුරුව ඊට විරෝධය ප්‍රකාශ කරමින් පළාත් සභාවේ යෝජනාවක්‌ සම්මත කර ගෙන ඇත.

එම යෝජනාවට පළාත් මහ ඇමැති හැර පාලක පක්‍ෂයේ අමාත්‍යවරුන් ඇතුළු පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලැබී ඇත. නැගෙනහිර මහ ඇමැතිවරයාද පළාත් සභාව විසුරුවා හැරීමට මුලින් අකැමැත්ත පළ කළත් දැන් ඔහු ඊට කැමති වී සිටින බව තමාට විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට ලැබුණු බවත් පෙත්සම ගොනු කිරීමට තීරණය කළේ ඒ නිසා බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

පළාත් සභාව විසුරුවා හැරීම නොකළ යුතු බවට සභාවේ පොදු මතය ප්‍රකාශ වී ඇති අවස්‌ථාවක එය විසුරුවා හරින්නැයි ආණ්‌ඩුකාරවරයාට උපදෙස්‌ දීමට මහ ඇමැතිට නෛතික බලයක්‌ නැතැයිද පෙත්සමේ සඳහන්ය.

පළාත් සභාව විසුරුවා හැරීමට ආණ්‌ඩුකාරවරයාට උපදෙස්‌ දීමට මහ ඇමැති තීරණය කළහොත් පෙත්සම පිළිබඳ විභාගයක්‌ පවත්වා අවසන් වන තුරු එම තීරණය ක්‍රියාත්මක වීම වළක්‌වන අතුරු නියෝගයක්‌ නිකුත් කරන්නැයිද පෙත්සමෙන් ඉල්ලා ඇත.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා රෙගුලාසි වලට අනුව පළාත් සභාවක්‌ විසුරුවා හැරීම මහ ඇමැතිගේ උපදෙස්‌ වලට අනුව සිදුවිය යුතු කාර්යයකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්