ප්රංශයේ කතෝලික දේවවාදය හා අදේවවාදය අතර සටන් තවමත් අවසන් වී නොමැත. 1789 දී සිදුවූ ප්රංශ විප්ලවයේ දී ආගමික හා වැඩවසම් පාලනය වෙත ලබා දී තිබූ වරප්රසාද අහෝසිකිරීමක් සිදුවුවද රජය ආගමෙන් වෙන්කිරීම රැඩිකල් ලෙස සිදුවනුයේ 1871 දී දින 72ක පැවති පැරිස් කොමියුන සමයේදීය. මේ සඳහා විශාල බලපෑමක් බ්ලන්කිවාදීන්ගෙන් හා බකුනින්වාදීන්ගේ සිදුවී තිබිණි. පැරිස් කොමියුනයට එරෙහිව 1871 මැයි 21-28 ” ලේ වැකුණු සතිය” ලෙස නම් වූ කාලයේදී සිදුවූ දැවැන්ත මර්දනයේදී වර්සයිල් හමුදාවේ ම්ලේච්ත්වය හමුවේ ඇසට ඇසක්, දතට දතක් ක්රියාවේ යොදවමින් තමන්ගේ ප්රාණ ඇපකරුවන් ලෙස සිටි සිරකරුවන් 74 දෙනෙකු මරා දැමීමට කොමියුනයට සිදුවිණි. මෙම මරාදැමු සිරකරුවන් අතර කතෝලික පුජකවරුන් 17 දෙනෙකු විණි. මේ අතර ඔවුන් අනුස්මරණය කරමින් පැරිස් කතෝලික පල්ලිය විසින් මැයි 29 වැනි සෙනසුරාදා පැරීසියේ කැඳවූ පෙළපාලියකට අරාජිකවාදීන් විසින් ප්රහාරයක් එල්ලකිරීමෙන් කීපදෙනෙකු තුවාල ලබා ඇතිබව වාර්තා වේ.
1795 දී රෝබෙස්පියෙර් විසින් තවදුරටත් ආගම හා රජය වෙන්කිරීම තහවුරු කරමින් ආගමික නිදහස නීතිගත කරන ලද අතර 1801 දී බලයට පත් නැපෝලියන් විසින් වතිකානුව(Concordat) සමග ගසන ලද ගිවිසුමෙන් පසුව කතෝලික ආගම බහුතර ජනතාවගේ ආගම ලෙස ව්යවස්ථා ගත කරන ලදී. 1871 මාර්තු 18 වැනිදා පිහිටුවනු ලැබූ ලොව ප්රථම කම්කරු රාජ්යය ලෙස සැලකෙන පැරිස් කොමියුනය ප්රථම පැයේදීම රජය හා ආගම වෙන්කරමින් ආගම පුද්ගලික කටයුත්තක් ලෙස සලකා එය ව්යාප්තිය සඳහා මුදල් වෙන්කිරීම නැවතත් අවසාන කරන ලදී. ඒ දක්වා කතෝලික පල්ලියේ ඍජු අධික්ෂණයේ පැවති ප්රංශයේ අධ්යාපනය එයින් මුදවා රජයේ මැදිහත්වීමෙන් එය සියළු දරුවන්ට අනිවාර්ය කරමින් නොමිලේ ලබාදෙන ලදී. වසා තිබු රජයට හා පල්ලියට අයත්ව තිබු නිවාස ජනසතු කිරීම, විවාහය අනිවාර්ය නොකිරීම, කාන්තාවන්ට සම අයිතිය හා සම වැටුප් ලබාදීම, විවාහයෙන් පරිබාහිරව ඉපදුනු දරුවන්ට අයිතිවාසිකම් ලබාදීමද තහවුරු කෙරිණි.
පැරිස් කොමියුනයේ නායකත්වය දැරු කොමියුනිස්ට්වාදීන්, ප්රුදොන්වාදීන් හා අරාජිකවාදීන් අතර සිටි අනෙක් කණ්ඩායම වුයේ බ්ලන්කිවාදීන්ය. බ්ලන්කිවාදීන් විප්ලවය සඳහා පක්ෂයක අවශ්යතාවය ප්රතික්ෂේප කල අතර සංවිධානය වූ කුඩා කණ්ඩායමකට බලය ගැනීමට හැකි බව තරයේ විශ්වාශ කල කණ්ඩායමක් විනි. පැරිස් කොමියුණය පිහිටුවූ කාලයේ එහි නායක Auguste Blanqui සිටියේ ප්රංශ සිරභාරයේය. ඔහු සිරභාරයෙන් මුදවා ගැනීමට බ්ලන්කිවාදීන් වර්සයිල් නුවරට පලා ගොස් සිටි ප්රංශ රජයේ අගමැති තියෙර්ගෙන් තම අත්අඩංගුවේ සිටි පැරිස් කතෝලික පල්ලියේ අධිපති Mgr Darboy හා සිරකරුවන් 74 දෙනා සමග හුවමාරු කරගැනීමට යෝජනා කර සිටියහ.
නමුත් මෙම සිරකරුවන් හුවමාරු කරගැනීම වර්සයිල් පාලකයෝ ප්රතික්ෂේප කරනු ලැබුවේ සිරකරුවන් ආරක්ෂා කරගැනීමට තමන්ට අවශ්ය නොවන බව පවසමිනි. එහිදී පැරිස් කොමියුනය වර්සයිල් පාලනයෙන් ඉල්ලා සිටියේ අත්අඩංගුවට ගන්නා තම සාමාජිකයින්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් හා කුඩා දරුවන් මරා නොදමන ලෙසයි. එහෙත් වර්සයිල් හමුදාව එම ඉල්ලීමද ප්රතික්ෂේප කරමින් අත්අඩංගුවට පත් හා තුවාල ලැබූ කොමියුනයේ සාමාජිකයින්ද සංහාරය කරන ලදී.
දිගින් දිගටම සිදුවූ මෙම ක්රියාවලිය පාලනය කරනු වස් මැයි 24 වැනිදා පැරිස් කතෝලික පල්ලියේ අධිපති Mgr Darboy ඇතුළු පුජකයින් 5දෙනෙකු කොමියුනය විසින් ඝාතනය කරනු ලැබුවේ මරා දමන තම එක සාමාජිකයෙකුට වර්සයිල් සිරකරුවන් තිදෙනෙකු මරා දමන බවට පාලකයන්ට අනතුරු හඟවමිනි. ඉන් අනතුරුව තවත් පුජකයින් 11 දෙනෙකු ඝාතනය කරන ලදී. වර්සයිල් හමුදාව විසින් සිදුකරන ලද තිරස්ථින ඝාතනයන් හමුවේ පැරිස් කොමියුනයේ නායකයන්ටද පාලනය කරගත නොහැකිව තත්වයක් මේ වනවිට උදාවී තිබුණු අතර මෙම ඝාතනයන් පැරිස් ජනතාවගේ කෝපය ඉහවහා ගිය අවස්ථාවක් ලෙස ප්රංශ ඉතිහාසවේදීන් පවසන අතර ඔවුන් එය 1940-1945 ප්රංශය ජර්මනියට යටත්වූ මොහොතේ ප්රංශ දේශප්රේමී හමුදාව විසින් එවක රජය සමග සිටි ලක්ෂයක පිරිසක් දේශද්රෝහීන් ලෙස සලකා මරාදැමීමට සමාන කරති.
කෙසේවෙතත් මෙම පැරිස් කොමියුනය විසින් කතෝලික පුජකයින් 17 දෙනා ඇතුළු(පොලිස් නිලධාරීන් හා රජයේ ඔත්තුකරුවන්) සිරකරුවන් 74 දෙනා ඝාතණය කරලීම සම්බන්ධයෙන් සංවාදය සෑම වසරකදීම පැරිස් කොමියුනය සැමරීමේදී කරලියට පැමිණේ. මෙම වසරේ පැරිස් කොමියුනයට වසර 150ක් පිරිම හේතුවෙන් ප්රංශ කතෝලික පල්ලියද මෙම මරා දැමු තම පුජකයින් අනුස්මරණය වෙනුවෙන් මෙම මස 28 වැනිදා පාගමනක් සංවිධානය කරන ලදී. මෙම පාගමනේ සංවිධායක පැරිස් කතෝලික පල්ලියේ නායක Mgr Michel Aupetit මාධ්යට ප්රකාශ කලේ වසර 150 කට පෙර සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම සමරනුයේ කොමියුනයේ මිතුරන් සමග ගැටුමකට නොව සාමය හා සහෝදරත්වය වෙනුවෙන් බවත් එහි දේශපාලන අරමුණක් නොමැති බවත්ය.
නමුත් 300 දෙනෙකු පමණ සහභාගී වූ මෙම සැමරුමට ප්රංශ කොඩිය හා ඒ ආශ්රිත රාජාණ්ඩු කොඩි ලෙලදීමෙන් කෝපයට පත් ප්රංශ තරුණ අරාජිකවාදීන්(ANTI FA), කොමියුනිස්ට්වාදීන්, අදේවවාදීන්, හා නව බ්ලන්කිවාදීන් “වර්සයිල් රුකඩයන් භංගවේවා” හා “පැසිස්ට්වාදීන්ට මරණය” “මිනීමරුවෝ” යන සටන්පාඨ කියමින් හා රතු කොඩි දරමින් පා ගමනට පහරදෙනු ලැබූ බව වාර්තා වේ. ස්ථාන රාශියකදී පාගමන එල්ලවූ ප්රහාරවලින් සහභාගිවූවන් ආරක්ෂා කරගැනීමට පොලීසියට මැදිහත්වීමට සිදුවූ බව පැරිස් ආරංචි මාර්ග සදහන් කරනු ලබයි. මෙම ප්රහාරයෙන් පා ගමනට සහභාගීවුවන් කීපදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
කෙසේවෙතත් ආගමට දායකත්වය සපයන එහි පැවැත්ම තහවුරු කරන ආර්ථික හා දේශපාලන කොන්දේසින් අවසාන නොකර ආගමට පහරදීමේ බ්ලන්කිගේ හා බකුනීන්ගේ ක්රියාවන් නිසා සිදුවනුයේ ජනතාව තවදුරටත් ආගම හා දේවවාදය වෙතම තල්ලුකිරීමක් බව මාක්ස් හා එංගල්ස් එදා සිටම පෙන්වා දුන් අතර එවැනි ප්රහාරයන් ඔවුන් විසින් දැඩිව හෙලා දකිනුද ලැබීය. මෙවැනි ආගමට එරෙහිව හිංසා කාරී ක්රියා හේතුවෙන් සෝවියට් කඳවුරට එරෙහිව පෝලන්තය යොදාගැනීමට වතිකානුව සමත් වූ බවටද ඇතැම් ස්වාධින වාම බුද්ධිමතුන්ද පෙන්වා දෙති.










