පාලකයන් ගෙදර යවන සටන තරුණ පරපුරෙන් ආරම්භ කරමු යැයි සමාජවාදී තරුණ සංගමය අද (16) පෙරවරුවේ කොළඹදී පැවති මාධ්ය හමුවකදී අවධාරනය කළේය.
ලබන 18 වනදා සමාජවාදී තරුණ සංගමය විසින් කොළඹදී පවත්වනු ලබන විරෝධතාවය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ පැවති මෙම මාධ්ය හමුවට එම සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, ජාතික කමිටු සාමාජිකයින් වන අරුන් හේමචන්ද්රන් සහ නීතීඥ ශානිකා ද සිල්වා, සාමාජිකයින් වන කොස්වත්තේ මහානාම හිමි, ශයිමි භාග්යා, නිල්මිණී ගැර්ලැක් සහභාගී වූහ.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර එහිදී දැක්වූ අදහස්,
“වර්තමාන ආණ්ඩුව ගෙනයන ක්රියාමාර්ගවලට එරෙහිව තරුණ තරුණියන්ගේ විරෝධය 18 වැනි දින කොළඹදී පළ කරනවා. අද වන විට ලංකා ඉතිහාසයේ දැවැන්ත ආර්ථික අර්බුදයට මුහුණ දී සිටිනවා. ලබන අප්රේල් මාසය වන විට සෑම භාණ්ඩයකම මිල ගණන් 40%කින් පමණ වැඩිවේ යැයි ගණන් බලා තිබෙනවා. මේ ආණ්ඩුව කිරිබත් කාලා වැඩ පටන් ගත්තත් අප්රේල් මාසයේ මේ රටේ මිනිසුන්ට අවුරුදු කිරිබත් කන්න වෙන්නේ නැහැ. මේ වන විට සාමාන්ය ජනතාවගේ පාන්ගෙඩියක් රුපියල් 120/- ඉක්මවලා. සල්ලි තිබුණත් අත්යවශ්ය භාණ්ඩ විශාල හිඟයක් තිබෙනවා. ඉන්ධන හිඟය, ගෑස් හිඟය, ඖෂධ හිඟය ඇතුළු අත්යශ්ය භාණ්ඩවල දැවැන්ත හිඟයක් තිබෙන්නේ. හෙට අනිද්දා මොනවා වෙයිදැයි සිතා ගන්න බැරි දැඩි අවිනිශ්චිත තත්වයක් පවතින්නේ.
මේක ස්වභාවිකව පැන නැගුණු විපතක් නොවෙයි. මේ දක්වා රට පාලනය කළ අයත්, වර්තමාන පාලකයෝත් සියලු දෙනා අනුගමනය කළ ගමන්මගේ ප්රතිවිපාකයට අද රට මුහුණ දී තිබෙනවා. ඔවුන්ට ණයට කෑම, විකුණන් කෑම සහ හොරා කෑම යන තුන් සූත්රය තිබුණා. දිගින් දිගටම මේ ක්රියාවලිය ගෙනයාමෙන් මුළුමහත් රටම දැවැන්ත අර්බුදයකට ගිහින් තිබෙනවා. ගොඩ එන්නේ කොතැනින්දැයි හිතා ගන්න බැහැ. රට ගොඩනැගීමට තිබෙන සම්පත් හිටපු පාලකයෝ සහ වර්තමාන පාලකයෝ මාරුවෙන් මාරුවට විකුණනවා. විකුණපු දේවල් පවා ආපසු ගන්නවා කියා බලයට ආ මේ පාලකයින් කෙරවලපිටිය බලාගාරය ඇමෙරිකාවට, කොළඹ වරාය බටහිර ජැටිය ඉන්දියාවට, පෝර්ට් සිටිය චීනයට වගේම ත්රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවටත් දෙන්න ක්රියාකර තිබෙනවා. මේ මේ තෙල් ටැංකි දැන් රටේ පවතින තෙල් අර්බුදය හමුවේ දැවැන්ත ධන නිධානයක් කර ගතහැකි ඒවායි. අපේ රටේ බලශක්තිය කෙරෙහි ඉන්දියාව, චීනය සහ ඇමෙරිකාව ආධිපත්යය පතුරවමින් යනවා. තෙල් ටැංකි ඉන්දියාවට දීමෙන් පසු සාම්පූර් ප්රදේශයේ සූර්ය බලශක්ති උත්පාදනයට ගිවිසුම් අත්සන් කිරීම දක්වා දුර ගොස් තිබෙනවා. යුගදනවි බලාගාරය ඇමෙරිකාවට දී තිබෙනවා. අපේ රටේ බලශක්ති ක්රියාවලිය සම්පූර්ණයෙන්ම විදේශයන්ට ලබාදී අවසන්.
මේ යන විදිහට වැඩිකල් යන්න පෙර අපේ රටේ පළාත් නවය එක එක් රටවල්වලට ලබාදෙන්න කටයුතු කළ හැකියි. මේ අනුගමනය කළ ක්රියාමාර්ග නිසයි අද මුළු රටම සිටින්නේ තෙල් පෝලිම්වලයි. හැමදේටම පෝලිම් නිර්මාණය වී තිබෙනවා. අපි රටක් විදිහට පෝලිම්වල ඉන්න ඕනෑද? අපි රටක් විදිහට ඩොලර් හිඟා කන්න ඕනෑද? අපේ රටේ හිටපු පාලකයෝත් ඉන්න පාලකයෝත් පොහොසත් වෙලා ජනතාව දුප්පත් වෙන්න පටන්ගෙන තිබෙනවා. රටක් විදිහට හැමෝම දුප්පත් වෙනවා නම්, එතන ප්රශ්නයක් තිබෙනවා කියලා හිතන්න පුළුවන්. නමුත් මේ තත්වය පිලිබඳව හැමෝම කල්පනා කරන්න ඕනෑ. ඔවුන් හැමදාමත් තමන්ගේ ලාභය තර කරමින් යනවා. විශේෂයෙන්ම තරුණ පරම්පරාව මේ තත්වය තේරුම් ගන්න ඕනෑ. තේරුම් නොගත්තොත් අපිට රටක් විදිහට නැගිටීමක් නැහැ.
අනාගතයේ රට ගොඩනගන්න තිබුණු ප්රධාන සම්පතක් වූ තෙල් ටැංකි පද්ධතිය අවුරුදු 50කට ඉන්දියාවට දී තිබෙනවා. බි්රතාන්යයෝ තෙල් ටැංකි 101ක් නිර්මාණය කළා. ටැංකි දෙකක් දෙවන ලෝක යුද්ධයේදී විනාශ වුණා. මෙම ටැංකිවල උස අඩි 45යි. ඒවා කිලෝ මීටර් 56කට වඩා දිග නළ පද්ධතියකින් එකිනෙක සම්බන්ධ වෙනවා. එදා තිබුණු උපරිම තාක්ෂණය යොදාගෙන මේවා ඉදිකරනු ලැබ තිබෙනවා. සුළි සුළං වගේම සතුරු ප්රහාරවලින් විනාශ කළ නොහැකි විදිහට ආරක්ෂාකාරීව නිර්මාණය කර තිබෙනවා. ත්රීකුණාමලය ලෝකයේ ගැඹුරුම ස්වභාවික වරාය නිසා ඉන් ප්රයෝජනය ගන්න ඩොල්පින් ජැටිය ඉදිකර තිබෙනවා. බි්රතාන්යයන් අපේ රටින් යද්දී තෙල් ටැංකි ටික දීලා ගියේ නැහැ. නමුත් 1964දී ප්රගිතිශීලී පියවරක් අනුගමනය කරමින් පවුම් දෙලක්ෂ පවුම් පනස් දහසක් ගෙවලා ලංකාවට පවරා ගන්නවා. ඒ මුදල වාරික තුනකින් ගෙව්වේ. එතැන් සිට මේ දක්වා තිබුණු ආණ්ඩු මේවාගෙන් ජාතික ආර්ථිකයට ප්රයෝජන ගන්න ක්රියා කළේ නැහැ. 2002 රනිල් වික්රමසිංහ මහත්තයා අවුරුදු 35කට ඉන්දියාවට බදු දුන්නා. නමුත් ඉන් මාස 06ක් ඇතුළත රනිල් වික්රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව බිඳ වැටුණා. ඒ නිසා අදාළ ගිවිසුම වලංගු කර ගන්න බැරිවුණා. නමුත් ඉන්දියාව බලහත්කාරයෙන් මේ ටික පරිහරණය කළා.
රනිල්, සජිත් සහ ඔවුන්ගේ මේ ගිවිසුම්වලටත් විරුද්ධව අපේ පක්ෂයෙන් අධිකරණයට ගියා. නමුත් 2017දී යළිත් වරක් මේ ටික දෙන්න රනිල් වික්රමසිංහ ක්රියා කළා. අධිකරණයේ මැදිහත්වීම නිසා ඒක කරගන්න බැරි වුණා. නමුත් දේශප්රේමී වර්තමාන ආණ්ඩුවේ ගම්මන්පිල, වීරවංශලා අවුරුදු 50කට ඉන්දියාවට දුන්නා. අපි තවත් බලා සිටිය යුතුද? අපි තවත් ඉවසිය යුතුද? අපේ රටේ අවසන් සම්පත් ටිකත් විදේශවලට විකුණා දමමින් සිටිනවා. මාස තුනකට අපේ රටේ තෙල් සැපයුම සඳහා ප්රමාණවත් ගබඩා පහසුකම් මෙහි තිබෙනවා. මේ සම්පත ගැන විගණනයක් කරන්න කියලා කෝප් කමිටුව විගණකාධිපතිට නිර්දේශ කළා. විගණකාධිපති ලබාදුන් වාර්තාව අනුව ත්රිකුණාමලයේ තෙල් ටැංකි යොදා ගැනීමෙන් උතුරු පළාතේ තෙල් ප්රවාහන වියදම විශාල වශයෙන් අඩු කළ හැකි බව පෙන්වා දුන්නා. නමුත් විකුණන් කෑම, ණයට කෑම සහ හොරා කෑම කරන පාලකයන් මේ නිර්දේශ ගණන් ගත්තේ නැහැ. ලෝකයේ තෙල් මිල අඩුවන අවස්ථාවල මේ ටැංකි ටික පුරවා ගන්න පුළුවන්. රට තුළ පාවිච්චියටත් විදේශයන්ට අලෙවි කරන්නත් මේ ගබඩා යොදා ගන්න පුළුවන්.
අපේ රටේ තෙල් සංස්ථාව අධික පාඩු ලබන අතර ෂධක් සමාගම අධික ලාභ ලබාගන්නවා. දේශපාලන ඩීල් වෙනුවෙන් රාජ්ය ආයතන පුරවලා විනාශ කර දමනවා. අද තරුණ තරුණියන් වන අපි මුහුණ දී සිටින්නේ ඒ ප්රතිවිපාකවලට. මේ නිසා ප්රධාන කරුණු තුනක් මත අපේ රටේ සම්පත් රැකගන්න මැදිහත් වෙනවා. රට මෙතනින් එහාට ගොඩනගන්න සම්පත් රැකගන්න ඕනෑ. අපේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මේ සම්පත් රැකගන්න ඕනෑ. අපේ රටේ බලශක්ති සැපයුම ඉන්දියාවට, චීනයට, සහ ඇමෙරිකාවට පවරාදීමෙන් අපට ඒ රටවල්වල ප්රාන්ත බවට පත්වෙන්න වෙනවා. ඒ නිසා මේ ගෙනයන ක්රියාවලිය දෙස කිසිසේත් බලාඉන්න බැහැ. මේවා විකුණා ඔවුන් කොමිස් ලෙස සැඟවූ මුදල් කොටසක් පැන්ඩෝරා පේපර්ස් මගින් හෙළිදරව් වී තිබෙනවා. ඔවුන්ට යන්න වෙන රටවල් තිබෙනවා. නමුත් අපේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් ඇතුළු සියලු දෙනාට තිබෙන්නේ මේ රට. එය රැක ගන්න ෆ්ලයිට් එක වෙනුවට රයිට් එක තෝරාගෙන තිබෙනවා. ආණ්ඩුවට දැනෙන්න අපේ විරෝධය පළ කරන්න ඕනෑ.
ජනාධිපති අද රෑ ජාතිය අමතනවා. අපි 18 වැනිදා උදේ 10.00ට මරදාන ටෙක්නිකල් හන්දියෙන් පටන්ගෙන තරුණයෝ හැටියට ජනාධිපතිට අමතනවා. අපේ මාතෘ භූමියේ අවසන් සම්පත් බේරා ගැනීම වෙනුවෙන් ප්රගතිශීලී තරුණ තරුණියන් සියලු දෙනා එක්වන ලෙස ඉල්ලා සිටිනවා. මේ රටේ පාලකයන් පත්කර ගැනීමට ඔබ දැක්වූ ආදරයට ඔවුන් බූට් එක තියලා තියෙනවා. රනිල් වික්රමසිංහ, මෛත්රීපාල සිරිසේන, සජිත් ප්රේමදාස සහ අවසානයේ ගෝඨාභය රාජපක්ෂත් මේ බූට් එක තියලා තියෙනවා. ඒ නිසා වැඩපිළිවෙළක් ඇතුළේ රටේ අවසන් සම්පත් ටික බේරා ගන්න ඉදිරියට එන්න කියලා ඉල්ලා සිටිනවා. ගොවි තරුණ තරුණියන්, ඩොලර්වලින් සල්ලි සොයන තරුණ තරුණියන්, ඒ වගේම ප්රගතිශීලී කාන්තාවන් සහ අනෙකුත් සියලු දෙනාටම මේ තරුණ සටනට සහයෝගය ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා. ප්රජාතන්ත්රවාදය රැකගනිමින් ලංකාවේ දැවැන්ත තරුණ අරගලයකට අපි නායකත්වය ලබාදෙනවා. පාලකයන් ගෙදර යවන සටනට මේ රටේ තරුණ පරපුර මූලාරම්භය දෙමු කියන ඉල්ලීම සමාජවාදී තරුණ සංගමය කරනවා.”

පාලකයින් විසින් අහිමි කරන රට බේරාගැනීමේ සටනට එකතු වෙන්න
සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකා – නීතීඥ ශානිකා ද සිල්වා සහෝදරිය
“වර්තමාන අගමැතිවරයා බලයට එන්න ඉස්සර කියූ ප්රධාන දෙයක් වුණේ මේ රටේ විකුණන සම්පත් ආපසු පවරා ගන්නවා කියලා. නමුත් මේ රටේ ජාතික සම්පත් තමන්ගේ පෞද්ගලික බුදලයක් විදිහට විකුණමින් බදු දෙමින් ඉන්නවා. ඒ වගේම ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කියන එකත් ඔවුන්ගේ ප්රධාන පොරොන්දුවක්. ඔවුන් ජාතික ආරක්ෂාව කියන්නේ යුද අවි එක්ක තිබෙන සම්බන්ධයකට විතරයි. නමුත් රටේ සම්පත් පවා ජාතික ආරක්ෂාව කොටසක් කියන එක අමතක කර තිබෙනවා. ඔවුන් විකුණමින් ඉන්නේ පුරවැසියෝ විදිහට අපි හැමෝටම අයිති සම්පත්. මේවා විකිණීම නිසා ඇති වුණු අර්බුදවල ප්රතිඵලයක් හැටියට අද හැමදේකටම පෝලිම් ඇතිවී තිබෙනවා. පෝලිම් අතරින් ප්රධානම පෝලිමක් වෙන්නේ තෙල් පෝලිමයි. මේ තත්වය ඇතිවීම ගැන නිවැරදිව අවබෝධ කර ගැනීම වැදගත්.
අපේ රට නිදහස ගත් පසුවත් 1961 දක්වාම අපේ රටේ ඉන්ධන අධිකාරිය තිබුණේ ෂෙල්, එසෝ සහ කැල්ටෙක්ස් කියන බහුජාතික සමාගම්වලටයි. එදා පැවති ආණ්ඩුව ක්රියාත්මක කළ ප්රගතිශීලී පියවරක් හැටියට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පිහිටුවනවා. බහුජාතික සමාගම් යටතේ තිබුණු තෙල් ඒකාධිකාරය ඛනිජ තෙල් සංස්ථාවට 1964දී පවරා ගන්නවා. රාජ්ය දේපොළ පෞද්ගලීකරණය කිරීමේ ප්රතිපත්තිය මත රනිල් වික්රමසිංහගේ ආණ්ඩුව ඉන්දීය ෂධක් සමාගමට මේ රටට ඇතුල් වෙන්න ඉඩ දෙනවා. එතෙක් මේ රටේ ඛනිජ තෙල් සංස්ථාවේ තිබුණු ඒකාධිකාරය බිඳ දැමීමෙන් පසුව අද දක්වාම අපේ රටේ තෙල් ව්යාපාරය ඉන්දියාවට නතුවෙමින් තිබෙනවා. එතැනදී නීතිමය ප්රශනයක් මතුවී ත්රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ ඉඩම ලංකා රජයටත් තෙල් ටැංකිවල අයිතිය ඛනිජ තෙල් සංස්ථාවටත් තිබෙන බව හෙළිවෙනවා. ඒ අනුව ඉන්දීය ෂධක් සමාගම තමන්ට අයිතියක් නැති භූමියක නීති විරෝධිව රැඳී සිටියා. දැන් ඒ භූමියේ අයිතියත් ඉන්දියාව ලබාගන්න කටයුතු කරමින් ඉන්නවා. 2012දී තෙල් ටැංකි භූමිය ලංකා රජයෙන් ඛනිජ තෙල් සංස්ථාවට බදු දෙන්න කැබිනට් පත්රිකාවක් ගෙනාවා. එවැනි බදු ගිවිසුමක අනිවාර්යය කොන්දේසියක් හැටියට අතුරු බදුදීම තහනම් කරනවා. පෞද්ගලික දේපළක් පවා මේ ආකාරයෙන් ආරක්ෂා කර ගන්න රටක රාජ්ය දේපළත් තුන්වැනියෙකුට බදු දෙන්න සූදානම් වෙනවා. නීති විරෝධී ආකාරයට බලහත්කාරයෙන් ඉන්දීය සමාගම තම ආධිපත්යයේ පවත්වාගෙන යනවා. ඔවුන් එහෙම කටයුතු කරද්දී පාලකයන් උත්සාහ කරන්නේ කුමන හෝ ආකාරයෙන් ඉන්දියාවට පවරා දෙන්නයි. මේ පවරාදීමට විරුද්ධව 2018 දි ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩු දෙකක් පවරනවා. ඒ නඩු විභාග කිරීම මේ වන විට සිදුවෙනවා. ජාතික සම්පතක් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ශ්රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු දෙකක් පවරා තිබියදී වර්තමාන ආණ්ඩුව මේ තෙල් ටැංකි අවුරුදු 50කට ඉන්දියාවට බදු දී තිබෙනවා.
ඉන්දියාවේ ඒකාධිකාරයට යටවුණාම ජාතික ආරක්ෂාවට කොතරම් බලපානවාද කියලා හිතාගන්න පුළුවන්. අද වෙනකොට විදුලි බලයත් නිෂ්පාදනය කරන්නේ විශාල ඉන්ධන ප්රමාණයක් යොදා ගනිමින්. අනික් පැත්තෙන් අද යුගදනවි ගිවිසුම මගින් විදුලිබල නිෂ්පාදනයත් ඇමෙරිකානු සමාගමකට දෙන්න සූදානම් වෙනවා. මේ ගිවිසුම අනුව විදුලි බල මණ්ඩලය යටතේ තිබෙන ලක්දනවි සමාගමට අයත් යුගදනවි සමාගම ඇමෙරිකානු නිව්පෝට්ට්රස් සමාගමට පවරාදීමේ ගිවිසුම් අත්සන් කළා. ආර්ථිකය සම්බන්ධ ගිවිසුම් අත්සන් කිරීමේදී අඩුම තරමින් කැබිනට් මණ්ඩලය වත් සම්පූර්ණයෙන් දැනුවත් කරන්න ඕනෑ. නමුත් මේ ගිවිසුම අත්සන් කරන්නේ කැබිනට් මණ්ඩලයටත් නොදන්වා මහ රාත්රියකයි. මේ වගේ ගිවිසුමක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත කර ගැනීමත් අවශ්යයි. නමුත් ඒ කිසිම දෙයක් නැතිව ආණ්ඩුව ක්රියාකරනවා. මේ ගිවිසුම අත්සන් කරන්නේ නිව්පෝට්ට්රස් සමාගම නොවෙයි. ඒ වෙනුවට භත්ෑ ශ්රී ලංකා පවර් හෝල්ඩින් කියන සමාගමත් අත්සන් කරන්නේ. ගිවිසුමේ සාක්ෂිකරුවන් ලෙස ඉන්නේ ඇමෙරිකානු සමාගමත් ලංකාවේ රජයත් වෙනුවෙන් අත්සන් කරන්නේ ලංකාවේ පුරවැසියෝ දෙන්නෙක්. මෙයින් සිදුකරන්නේ යුගදනවි බලාගාරයට වගේම කැලණිතිස්ස බලාගාරයට අමතරව දැන් ඉදිකරමින් තිබෙන සොබාධරණී බලාගාරයටත් ද්රවීකෘත ඉන්ධන සපයන්නේ ඇමෙරිකාවෙන්. මේ බලාගාර දෙනවා කියන්නේ ඉඩමක් හෝ ගෙයක් දොරක් බද්දට දෙනවා වගේ වැඩක් නොවෙයි. ගිවිසුම අත්සන් කරලා අවුරුදු දෙකක් යනතුරු දෙපාර්ශ්වයේම එකඟතාවයක් නැතිව හෙළිකරන්න බැහැ කියලා කොන්දේසියකුත් තිබෙනවා. මේ තරම් බරපතළ ගිවිසුමක් රහසිගතව අත්සන් කරන්නේ කොහොමද?
සමාජවාදී තරුණ සංගමයේ ක්රියාකරන්නේ මේ රට අපි හැමෝටම ජීවත් වෙන්න සුරක්ෂිත රටක් හැටියට ආරක්ෂා කරන්නයි. වර්තමාන ආණ්ඩුව බලයට පත්කරන්න විශාල වශයෙන් ක්රියාකළ තරුණ පරම්පරාව මේ වන විට විරෝධය පළ කරන්න පටන්ගෙන තිබෙනවා. දේශප්රේමය කියන්නේ පාලකයෝ වෙනුවෙන් පෙනී ඉන්න එක නොවෙයි. තමන්ගේ රට වෙනුවෙන් පෙනී ඉන්න එක. ඒ නිසා සැබැවින්ම දේශප්රේමී ප්රගතිශීලී තරුණ පිරිස සතුව තිබන පරමාධිපත්යයේ බලය ගොඩනැගීම වෙනුවෙන් තරුණ පරපුරට ආරාධනා කරනවා. අපි එකතු වෙලා සටන් කර පාලකයෝ විසින් අපිට අහිමි කරන රට බේරාගැනීමේ සටන මාර්තු 18 වැනිදා පටන් ගමු කියලා ආරාධනා කරනවා. මේ ආණ්ඩුව බලයට ගෙන ආවා වගේම බලයෙන් ඉවත් කිරීමේ හැකියාවත් තරුණ පරපුරට තිබෙන බව පෙන්වමු කියලා ආරාධනා කරනවා.”

මෙය අනතුර තේරුම් ගත් සියලු දෙනා පෙරට පැමිණිය යුතු කාලයක්
සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික නීතිඥ අරුන් හේමචන්ද්ර සහෝදරයා
“මා නියෝජනය කරන ත්රිකුණාමල දිස්ත්රික්කය ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් ඉතාම වැදගත් වනවා. වර්තමාන ආණ්ඩුව විසින් මේ වැදගත්කම රටට කළ හැකි උපරිම විනාශය සිදුකිරීමට යොදාගෙන තිබෙනවා. වියත්මග වැනි ආණ්ඩුව වටා සිටි උගතුන්, බුද්ධිමතුන් අද වන විට නිහඬව සිටිනවා. පෝර්ට් සිටියෙන් පටන්ගෙන කොළඹ වරාය, බටහිර ජැටිය විකුණා ත්රිකුණාමලයේ තෙල් ටැංකි විකුණන්න ක්රියාකර ඉන් නොනැවතී කෙලවරපිටිය බලාගාරය දක්වා ගිහින් තිබෙනවා. ඉදිරියේදී දැවැන්ත විකිණීම් මාලාවකට සූදානම් වෙනවා. සාම්පූර්, කව්දාරිමුණෙයි, මන්නාරම, වැනි ප්රදේශවල ඉඩම් සූර්ය බලශක්ති බලාගාරවලට යැයි කියමින් විදේශයන්ට දෙන්න සූදානම් කර තිබෙනවා. රටේ ජනතාව පෝලිම්වල ඉන්න අතර පාලකයෝ මේ වැනි ජනතා විරෝධී ක්රියා අනුගමනය කරනවා. රටේ සම්පත් රට වෙනුවෙන් යොදවා තිබුණේ නම්, රට තුළ මෙවැනි තත්වයක් ඇතිවන්නේ නැහැ.
රට සංවර්ධනය කිරීමට මේ පාලකයන්ට කිසිදු වැඩපිළිවෙළක් නැහැ. ඒ වගේම රටේ ජාතික ආරක්ෂාව හෙළා තිබෙන අනතුර ගැන යුක්රේනයෙන් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. යුක්රේනයේ සිටි පාලකයන් අනුගමනය කළ වැරදි ක්රියාමාර්ග නිසා අද බැටකන්නේ ඒ රටේ ජනතාවයි. රුසියාවෙන් සහ අනික් පැත්තෙන් නේටෝවෙන් බැටකන්නේ වරදක් නොකළ යුක්රේන් ජනතාවයි. ඔවුන්ව අනතුරුදායක තත්වයකට පත්කළ පාලකයන්ට ප්රශ්නයක් නැහැ. අපේ රටේ පාලකයන් ඇමෙරිකාවට, චීනයට, ඉන්දියාවට අපේ ජාතික සම්පත් විකුණා බලශක්තිය සම්බන්ධ තීරණ ගැනීම සඳහා පවරාදී තිබෙනවා. මේ අනතුර තේරුම් ගෙන අපි හැමෝම පෙරට එන්න ඕනෑ කාලය ඇවිත් තිබෙන්නේ. අද ලෝක වෙළඳපොළේ වෙළඳාම් කරන්න බැරි තත්වයට රටේ අපනයන බිඳ වට්ටා තිබෙනවා. ලොකු බලාපොරොත්තුවක් තැබූ තරුණයන්ට අද සම්පූර්ණයෙන්ම පයින් ගහලා තිබෙන්නේ. යුද්ධය අවසන් කළාට පසු රට දිව්ය ලෝකයක් කරනවා කීවාට සිදුකරමින් තිබෙන්නේ විශාල විනාශයක්. එයින් රට බේරාගැනීමට අපි හැමෝම එකතුවෙමු කියන ආරාධනය සියලුම තරුණයන්ට කරනවා.”










