පාර්ලිමේන්තු විවාදයට ඉඩ දුන්නේ ඇයි – ජනපති සන්ධාන නායක රැස්වීමේදී ප‍්‍රශ්න කරයි

මේ සාකච්ඡාව යන අතරතුර ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායක රැස්වීමක් පසුගිය සඳුදා දිනයේදී කැඳවීමට කටයුතු කළේය. එහි ප‍්‍රධාන අරමුණ වී තිබුණේ විසිවෙනි සන්ශෝධනය සම්බන්ධයෙන් අඟහරුවාදා දිනයේදී පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට පක්ෂ නායකයින්ගේ එකඟතාවය ලබාගැනීමයි. විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, අතුරලියේ රතන හිමි විසිවෙනි සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයකට දැඩි ලෙස විරෝධය පළකරමින් අදහස් දැක්වූහ. ”විසිවැනි සංශෝධනය ගැන විවාදයක් කරන්න  ඕනෑ. පාර්ලිමේන්තුව එක් දිනයක විවාදයක් මම යෝජනා කරනවා” සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල යෝජනා කළේය. ”නැහැ පාර්ලිමේන්තු විවාදය දවසක් ප‍්‍රමාණවත් නැහැ. දින දෙකක්වත් පවත්වන්න  ඕනෑ. ඒ විතරක් නෙවෙයි පාර්ලිමේන්තුව උදේ සිට පවත්වන්නත්  ඕනෑ” දිනේෂ් ගුණවර්ධන යෝජනා කළේය. ඒ අනුව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් සූදානම් විය.

මේ අතර පසුගිය අඟහරුවාදා දිනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂවල නායකයින්ගේ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී පැවැත්වීය. මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනද පැමිණියේය. විසිවැනි සන්ශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වීමට ඉඩ සැලසීම ගැන ජනාධිපතිවරයා සිටියේ සිත අමනාපයෙනි. රැස්වීම ආරම්භ වනවාත් සමග ජනාධිපතිවරයා විමසා සිටියේ ඒ පිළිබඳවය. ”විස්ස ගැන දවස් දෙකක විවාදයක් පවත්වන්න ඉඩ දුන්නේ මොකටද?” ජනාධිපතිවරයා විමසා සිටියේ දැඩි ස්වරයෙනි. ඊට පිළිතුරු ලබාදුන්නේ ඊ.පී.ඩී.පී. සංවිධානයේ මන්ත‍්‍රී, පාර්ලිමේන්තුවේ කාරක සභා සභාපති චන්ද්‍ර කුමාර මුරුගේසුය. ”ඔබතුමා කියලා තිබුණනේ විවාදයට එකඟ වෙන්න කියලා. ඒ නිසා තමයි අපි එකඟ වුණේ. ඒ නිසාම තමයි නියෝජ්‍ය කතානායකතුමාත් මේකට අවසර දුන්නේ” මුරුගේසු මන්ත‍්‍රීවරයා කියා සිටියේය. ”නෑ නෑ මම පාර්ලිමේන්තුවේ වැඩවලට අත දැන්න යන්නේ නැහැ.” ජනාධිපතිවරයා කියා සිටියේය. ඒත් සමගම ජනාධිපතිවරයා සාකච්ඡාව අතරතුර නැගිට ගියේය. සියලූ දෙනාම පුදුමයෙන් බලා සිටියේ කුමක් හෝ අමුතු දෙයක් සිදුවී ඇතැයි යන සැකය සහිතවය.

විසිවැනි සංශෝධනය පිළිබඳව විවාදයක් අවශ්‍යවී තිබුණේ එක්සත් ජාතික පක්ෂයටය. ඒ නිසාම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශවය විවාදයක් පැවැත්වීමට විරෝධය පළකරමින් සිටියේය. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහින්ද පිල විවාදයක් ඉල්ලා සිටියද විවාදයට සහභාගිවීමට අවශ්‍යතාවයක් ඇති බව පෙන්නුවේ නැත. මේ අතර පසුගිය බදාදා දිනය වනවිට පාර්ලිමේන්තුව විසරුවා හැරීමට යන බවටද කතාවක් පැතිර ගියේය. මේ නිසා මහින්ද පාර්ශවය කලබලයට පත්විය. අනතුරුව රැස්වූ මහින්ද පිලේ කිහිප දෙනෙකු තීරණය කර තිබුණේ විසිවැනි සන්ශෝධනය පිළිබඳව පැවැත්වෙන විවාදයට සහභාගි වීමටය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්