ප්රවීණ ලේඛිකාවක් වන සෝමා ජයකොඩි මහත්මිය තමන්ට අයත් බණ්ඩාරගම, ගගබඩ පාරේ පිහිටි දෙමහල් නිවස, තමන් රචිත කෘති සහ තමන් පරිහරණය කරනු ලැබූ කෘති සියල්ල ශ්රී ලංකා ජාතික පුස්තකාලයට පරිත්යාග කර ඇත.
ආදර්ශ පුස්තකාලයක් හා සංවර්ධන මධ්යස්ථානයක් ලෙස සංවර්ධනය කර “රන්ගිර – සෝමා ජයකොඩි ආදර්ශ පුස්තකාලය” නමින් එය සෝමා ජයකොඩි මහත්මියගේ ජන්ම දිනය යෙදී තිබූ පසුගිය 19 වැනි දින මැති ඇමතිවරුන් ඇතුළු පිරිසකගේද සහභාගීත්වයෙන් විවෘත කර තිබේ.
මෙම ආදර්ශ පුස්තකාලයට සෝමා ජයකොඩි මහත්මිය විසින් රචිත කෘති 376ක්, ඒවායේ අත්පිටපත් මෙන්ම ඇය විසින් පරිහරණය කරනු ලැබූ කෘතිද ඇතුළුව කෘතින් 3000 ක් ද පරිත්යාග කර තිබේ. ඊට අමතරව සිය සාහිත්ය ජීවිතයේදී ඇයට හිමි වූ සම්මාන ආදී සියල්ල මෙහි තැන්පත් කර තිබේ.
මෙම විවෘත කිරීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ සාහිත්යවේදියකුට ප්රධාන අරමුණු දෙකක් ඇති බවත්, තම මතවාදය ජනගත කරමින් ජනතාව තුළ යහපත් සංකල්ප ඇති කිරීම හා ලේඛක සාහිත්ය පරම්පරාව ඉදිරියට ගෙනයාම එම අරමුණු දෙක බවත්ය.
මෙම සුවිශේෂී අවස්ථාවට කැලණිය විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, රාජ්ය අමාත්ය විදුර වික්රමනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නලින්ද ජයතිස්ස, ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන, අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.












