ප්රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්රේමරත්න අභාවප්රාප්ත වී තිබේ.
1931 වසරේ අප්රේල් 29 වන දා කොටහේනේදී උපත ලද ප්රේමරත්න මිය යන විට 94 වන වියේ පසු විය.
ඔහු මිය යන විට පදිංචිව සිට ඇත්තේ, ඔස්ට්රේලියාවේ සිඩ්නි නගරයේ ඔහුගේ පුතණුවන් සමගය.
‘හීන කුලය’ නමින් 1952දී වේදිකාගත කළ නාට්ය හරහා ෂෙල්ටන් ප්රේමරත්න සංගීත ක්ෂේත්රයට පිවිස ඇත.
මොහු ලංකාවේ වැඩිම මුද්රා නාට්ය ගණනකට සංගීතය සපයා ඇති අතර හුණු වටයේ කතාව, කෝන්තරේ, මන්ත්රී හාමුදුරුවෝ, හොටබරි යුද්දේ, තහංචි හා කුවේණි වේදිකා නාට්යවලට ඔහු විසින් සංගීතය සපයනු ලැබ තිබේ.
එමෙන්ම, ‘සමුද්රදේවි’ නාට්යයේ ගෝවේ ගෑනු පරාදයි සහ යුද්දෙට මම ගියා, ගෑනි ගෙදර තියා ගීතයද ෂෙල්ටන් ප්රේමරත්නයන්ගේ නිර්මාණ වේ.
ඔහුගේ අභාවය සම්බන්ධයෙන් නිදහස් මාධ්යවේදී ප්රෂ්කර වන්නිආරච්චි විසින් යෙදී සටහනක් පහතින් දැක්වේ,
ආදරණීය ෂෙල්ටන් සර්, Rags & chords
මගේ ආදරණීය සංගීත ගුරුදෙවි, ආචාර්ය ෂෙල්ටන් ප්රේමරත්නයන් ගැන වචනයක් ලියන්න හිතුණා. මට 80 දසකයෙ වසර කිහිපයක් එතුමාගෙන් හාර්මෝනියම් වාදනය සහ ගායනය හදාරන්න පින් තිබුණා. කොළඹ බොරැල්ලෙ ඇල්විටිගල මහල් නිවාස සංකීර්ණයේ C/2/4 දරණ නිවසෙ තිබුණු මේ පංතිය මහා රස ගුලාවක්. එතුමා ඉගැන්නුවෙ සංගීතය විතරක් නෙවෙයි… එතුමා කියාදුන්නෙ ජීවිතය… ආදරය… දහම…
ගහ කොළ ගැන, මිනිස්සු ගැන, අත් බෙහෙත් ගැන ෂෙල්ටන් සර්ට තිබුණේ පුදුම අවබෝධයක්. වෙලාවකට සර් කියා දෙන්නෙ පරිප්පු උයන ආකාරය ගැන. තව දවසක කියා දෙන්නෙ සුදුඑෑණු ගෙඩියෙ මුල් පැත්ත යමක තෙරපා පොතු අරින ආකාරය ගැන. නියපොත්තෙන් සුදුඑෑණු ගොඩක් පොතු ඇරපු අය එහි සැර වැදී දවස් දෙකතුනක් පවතින වේදනාව ගැන දන්නවා.
අතක පයක ඇඟිල්ලක් කිසියම් තැනක ගැටී කෙටීමක් ඇතිවූ විට අමු අබ කොටා ජලය බින්දු කිහිපයක් මුසුකර බඳින්න කියලා මට කියා දුන්නෙ ෂෙල්ටන් සර්. ඒ බෙහෙත බැන්දාම එන දරාගන්න බැරි වේදනාව ගැන කියන්නත් සර් අමතක කරන්නෙ නෑ.
80 දසකයෙ මැද හරියෙ අපේ ගුවන් විදුලියෙ ඉංග්රීසි සේවය වෙනුවෙන් එතුමා නිර්මාණය කළා Rags & chords නමින් වැඩසටහන් මාලාවක්. ප්රකට අප්රකට හින්දුස්ථානි රාග වාදනයේදී ඒ සමඟ යොදගත හැකි chords සහ එ මඟින් ජනනය වන විස්මිත රසෝඝය ලොවට දායාද කිරීමයි එතුමාගේ අරමුණ වුණේ. පැයක ධාවන කාලයක් සහිත වැඩසටහන් දහයක් පටිගත කෙරුණා. පුහුණුවීම් කෙරුණේ සංගීත පංති කාමරේ. එය බලමින් රසවිඳීම මට මහා ආස්වාදයක් වුණා. ඒ දුටු එතුමා දින කිහිපයක් පටිගතකිරීම්වලටත් මාව කැටුව ගියා. ඒ වෙනුවෙන් එතුමා කැපවුණු ආකාරය පුදුමයි.
ඒත් ඒ විශිෂ්ට වැඩසටහන් කිසිදිනෙක ගුවන් විදුලියෙ ප්රචාරය වුණේ නෑ.
ඒ උතුම් මිනිසා උතුම් නිවනින් සැනසේවා!










