පළාත් පාලන මැතිවරණයට අදාළව පැමිණිලි 421ක් ලැබී ඇතැයි NEM IHR නිවේදනය කරයි

පළාත් පාලන මැතිවරණයට අදාළව පැමිණිලි 421ක් ලැබී ඇතැයි NEM IHR නිවේදනය කරයි

2018 පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට මේ දක්වා ගතවී ඇති කාලය තුළ තමන් වෙත මැතිවරණ පැමිණිලි 421ක් ලැබී ඇති බවත් ඒ අතර ප‍්‍රචණ්ඩ ක‍්‍රියා  42ක්, නීති විරෝධී ප‍්‍රචාරක කටයුතු සම්බන්ධ පැමිණිලි 264ක් සහ මහජන මතයට අනිසි බලපෑම් සිදුවන ක‍්‍රියාවන් 78ක්ද ඇති බවත් මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය සඳහන් කරයි.

එහි ප‍්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර මහතාගේ අත්සනින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාටද පිටපත් සහිතව මාධ්‍ය වෙත යොමු කර ඇති එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ.

“2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණය ප‍්‍රකාශයට පත් කර මේ දක්වා ගත වී ඇති කාලය තුළ මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය විසින් මෙම මැතිවරණ ක‍්‍රියාවලිය තුළදී නිරීක්ෂණය කරන ලද මූලික කරුණු පහතින් දැක්වේ.

මැතිවරණ කොමිසම විසින් පනවන ලද මැතිවරණ නීති හා රෙගුලාසි අනුව මතුවූ අවහිරතා පිළිබඳ අවධානය යොමු කිරීමේදී ප‍්‍රචාරක රැස්වීම් සඳහා වන අවසර ලබා ගැනීමේ ක‍්‍රමවේදය දේශපාලන පක්ෂ/කණ්ඩායම් සියල්ලටම පොදුවේ දුෂ්කර කාර්යයක් මෙන්ම අනවශ්‍ය ගැටලු ඇතිකරන්නක් බවට පත්ව ඇත.

එනම් ප‍්‍රචාරක රැස්වීමක් සඳහා අදාළ ඉඩම හිමි අයිතිකරුගේ කැමැත්තට අමතරව ඉඩමේ ඔප්පු යනාදී ලියකියවිලි මේ සඳහා ඉල්ලා සිටීමත් එමෙන්ම ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතයේදී අපහසුතා ඇතිවන්නේදැයි යන්න එම භූමිය අවට පදිංචිව සිටින ජනතාවගෙන් ප‍්‍රකාශ සටහන් කරගැනීම යනාදී කරුණුය. දෙවැනි කරුණ තුළින් යම් ප‍්‍රතිවාදී දේශපාලන මතයක් දරන අයෙකු එම රැස්වීම් භූමිය අසල පදිංචිව සිටීම එම දේශපාලන රැස්වීම කඩාකප්පල් වන ආකාරයේ කටයුතු සඳහා හේතුවක් වී ඇත.

එමෙන්ම තව දුරටත් මෙම මැතිවරණ නීති තුළින් පැන නැගී ඇති දුෂ්කරතා දෙස බැලීමේදී ප‍්‍රචාරක කාර්යාලයන් දැමීමට අදාලව ඒ අසළ ඇති රජයේ ආයතනවලට නියමිත වූ අවම දුරක් ප‍්‍රකාශයට පත් කිරීමද එවැනිම ගැටලුවක් වී ඇත. ඒ අනුව ඇතැම් අපේක්ෂකයන් හට කිසිඳු ප‍්‍රචාරක කාර්යාලයක් තම කොට්ඨාශයේ පවත්වාගෙන යාමට නොහැකී වී ඇත.

මෙම මැතිවරණය තුළ වූ යම් සාධනීය තත්වයන් පිළිබඳවද අප විසින් නිරීක්ෂණය කරන ලදී.

මූලිකවම ප‍්‍රචාරක කටයුතු සඳහා පනවා ඇති නීති තුළින් මෙම මැතිවරණයේදී මූල්‍ය බලය හිමි අපේක්ෂකයන් හට හෝ දේශපාලන පක්ෂ/කණ්ඩායම් සඳහා විශේෂ අවස්ථාවක් නොලැබුණු බැවින් එය නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් ගන්නා ලද ඉදිරි පියවරක් ලෙස අප දකිමු. එම නිසා සියලු අපේක්ෂකයන් හට ප‍්‍රචාරණ කටයුතුවලදී සමාන අයිතිවාසිකම් හිමිව ඇත.

1997 වසරේ සිට අප සංවිධානය මැතිවරණ නිරීක්ෂණයන්හි ලද අත්දැකීමෙන්ද, පොදුවේ මෙම මැතිවරණයේ දී ලැබී ඇති පැමිණිලි තුළින්ද, මේ දක්වා වන මැතිවරණ ක‍්‍රියාවලිය දෙස බලන විට පෙර මැතිවරණවලට සාපේක්ෂව යම් නිදහස් හා සාධාරණ බවක් දැකිය හැක. ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල ප‍්‍රමාණය හා ඒවායේ ස්වභාවය සැලකිය යුතු ලෙස පහළ යාමක් ඇත. වැඩිපුරම නීති විරෝධී ප‍්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි දක්නට ලැබෙන අතර නගරවල ප‍්‍රචාරක කටයුතු ඉවත් කිරීමට පොලිසිය විසින් කටයුතු කළද ගම්මාන හා නගරයෙන් පිටත ඇති ප‍්‍රදේශවල එම කටයුතු මන්දගාමී බවක් ඇත.

ලැබී ඇති පැමිණිලි

මේ දක්වා අප විසින් සිදුකරන ලද මැතිවණ නිරීක්ෂණ දෙස බැලීමේදී මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ලෙස සිදුවීම් 42ක් ද, නීති විරෝධී ප‍්‍රචාරක කටයුතු ලෙස පැමිණිලි 264ක ප‍්‍රමාණයක්ද, මහජන මතයට අනිසි බලපෑම් සිදුවන ක‍්‍රියාවන් 78ක් ද, ප‍්‍රධාන කරුණු ලෙස ඉස්මතු කර දැක්විය හැක, මෙයට අමතරව රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීම, රාජ්‍ය නිළධාරීන් මැතිවරණ කටයුතුවලට යොදාගැනීම, අපේක්ෂකයන් තමන් විසින් දරණ ලද තනතුරුවල රැඳී සිටීම, රාජ්‍ය නිලධාරින් බඳවාගැනීම/උසස්වීම් ලබාදීම හා මාරුවීම් ලබාදීම මෙන්ම සාමකාමී මැතිවරණ ක‍්‍රියාවලියට බාධා කිරීම් යන අංශ යටතේ තවත් පැමිණිලි අප වෙත ලැබී ඇත.

ඒ අනුව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා 42ක්, නීති විරෝධී ප‍්‍රචාරක කටයුතු 264ක්, පොලිසියේ පක්ෂපාතී ක‍්‍රියාකලාපයන් 07ක්, රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීම් 08ක්, රාජ්‍ය නිලධාරින් මැතිවරණ කටයුතුවලට යොදා ගැනීම් 11ක්, මහජන මතයට අනිසි බලපෑම් සිදුකිරීම් 78ක්,  අපේක්ෂකයන් තමා දැරූ තනතුරු වලින් ඉවත් නොවීම සම්බන්ධ සිදුවීම් 03ක්, රාජ්‍ය නිලධාරින් බඳවා ගැනීම/උසස්වීම් ලබාදීම හා මාරුකිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි 06ක්, සාමකාමී මැතිවරණ ක‍්‍රියාවලිය සඳහා බාධා කිරීමේ සිදුවීම් 02ක්ද සහිතව පැමිණිලි 421ක් ලැබී ඇත.

රාජ්‍ය බලය මැතිවරණ වාසි ලබාගැනීම සඳහා යොදා ගැනීමේ බරපල සිදුවීම් ගණනාවක් පසුගිය සතියේ දී වාර්තා විය. පළාත් පාලන ආයතනවල බලය විපක්ෂ කණ්ඩායම් වෙත ලබා නොදෙන ලෙසත් එවැනිවිපක්ෂ කණ්ඩායම් බලය ලබාගන්නා පලාත්පාලන ආයතනවලට රජයෙන් ලබාදෙන මුදල් එම ආයතනවලට ලබා නොදෙන බවටත් අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල සහ ෆිසර් මුස්තාපා මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කර සිටියේය.

මෙය ජනතාව බියවද්දා සහ නොමග යැවීම සඳහා රාජ්‍ය බලය යොදා ගැනීමකි. මේ පිළිබඳව මැතිවරණ නිරීක්ෂණ ජාලය මැතිවරණ කොමසාරිස් වරයාට පැමිණිලි කර ඇත. ජනාධිපති වරයා සහ අගමැති වරයා විසින්ද මෙම ප්‍රකාශයට සමාන ප්‍රකාශ මැතිවරණ වේදිකාවේ දී ඉදිරිපත් කරයි.

එමෙන්මනිවාස සන්වර්ධන අධිකාරියේ ආධුනුක්ක පුහුණු නිලධාරීන් 1000ක් පමණ සමීක්ෂණයක් කරන මුවාවෙන් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගන්නා බවට පැමිණිල්ලක් ලැබී ඇත.

දෙමටගොඩ ප්‍රදේශයේ මහල් නිවාසවලට ගොස් ඔවුන්ට ස්ථිර ඔප්පු ලබාදෙන බව පවසමින් තොරතුරු රැස්කර ඇති බවත් පැල්පත්වලට ගොස් නව නිවාස ලබාදෙන පවසා ඇති බවත් තිස්සමහාරාම ප්‍රදේශයේ දී ද මෙවැනිම මැතිවරණ ප්‍රචාර කටයුතුවල නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් යොදවා ඇති බවත් පැමිණිල්ලේ දැක්වේ.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්