පවිත‍්‍රාගේ සුදු අප්පෝ පොලිස් අත්අඩංගුවට

විදුලිබල ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියගේ දේශපාලන බලය යොදාගනිමින් පවත්වාගෙන යන කළුගඟ, හැරණියාවක නීතිවිරෝධී පතල් සමූහය භාරව කටයුතු කරණ අයගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී නෙවිල් පුෂ්පකුමාර නොහොත් සුදු අප්පෝ කිරිඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහි මැණික් ගැරූ හැරණියාවක ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට රුපියල් කෝටි 50කට වැඩි වටිනාකමින් යුතු මැණිකක් ලැබී ඇති බවට ආරංචිය ලත් පසු නෙවිල් පුෂ්පකුමාර හෙවත් සුදු අප්පෝ මැණික ලැබුණා යයි කියන පුද්ගලයාගෙන් රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා ඇත.

කප්පම ලබාදීම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සුදු අප්පෝ විසින් අදාළ පුද්ගලයාට පහරදී තිබේ. මෙසේ පහරකෑමට ලක්ව ඇති වසන්ත නමැත්තා විසින් ඒ සම්බන්ධයෙන් කිරිඇල්ල පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව නෙවිල් පුෂ්පකුමාර හෙවත් සුදු අප්පෝ කිරිඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඉකුත් දෙසැම්බර් 23 වැනි දින රත්නපුර දිසා අධිකරණයට ඉදිරිපත් කරන තිබේ.

කරුණු සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කරමින් මන්ත‍්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත. හැරණියාවක නීතිවිරෝධී පතල් සමූහය භාරව ක‍්‍රියාකළ මන්ත‍්‍රීවරයා ක‍්‍රියාකර ඇත්තේ මෙම පතල් සමූහය ඇමැති පවිත‍්‍රාදේවි වන්නිආරච්චිගේ බව සඳහන් කරමිනි.

කලක් තිස්සේ නෙවිල් පුෂ්පකුමාර විසින් මෙම අනවසර පතල්වලින් ‘හවුල්’ ලබාගෙන ඇත්තේ ඇමැතිවරියට ලබාදීමට බවද මේ වනවිට හෙළිවී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්