පකිස්ථානය සමග තරඟය අතරතුර ගැටුම නිසා තරගය තාවකාලිකව නතර කරයි

පකිස්ථාන කණ්ඩායම හා පැවැති තෙවන එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටින අවස්ථාවේදී ප්‍රේක්ෂකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට සිදු විය.

ගැටුම ඇති වූයේ 33 වන පන්දුවාරයේදීය. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 158ක් කඩුලු 7කට ලබා සිටියදී  තරගය තාවකාලිකව නතර කිරීමට තරග තීරක ජවගල් ශ්‍රීනාත් මහතා කටයුතු කළේය. විනාඩි 33 කින් පසුව නැවතත් තරගය ආරම්භ කළ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවාර 41.1 පන්දුවකදී ලකුණු 181කට සියල්ලන්ම දැවී ගියේය. ඒ අනුව පකිස්ථාන කණ්ඩායම තරගය ලකුණු 135කින් ජයග්‍රහණය කරමින් තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහර දීමේදී ළහිරු තිරිමාන්න ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වූ අතර අනෙක් කිසිදු පිතිකරුවකු ලකුණු 20 සීමාව පසු කර යැමට සමත් නොවීය. පන්දු යැවීමේදී පකිස්ථානු කණ්ඩායමේ යසීර් ෂා පන්දු වාර 10කදී නිලකුණු පන්දුවාරයක්ද සමගින් ලකුණු 29කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු යැවීම, පන්දු රැකීම හා පන්දුවට පහර දීම මෙම තරගයේදී වඩා හොඳින් තහවුරු විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්