නීතිවිරෝධී රෝහලට වෛද්‍යවරුන්ගේ විරෝධය

 

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ අනුග්‍රහය යටතේ ලංකා බැංකුවෙන් ලබාදෙන රුපියල් මිලියන 600ක ප්‍රතිපාදනවලින් ඉදිකෙරෙන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලීය රෝහල නීතිවිරෝධී බව රජයේ වෛද්‍යවරුන් පිරිසක් විසින් පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත.

මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භකිරීමද නීතිවිරෝධී ආකාරයෙන් සිදුකර ඇති බවට ”පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි වෛද්‍යවරුන්”ගේ සංවිධානය විසින් මෙයට පෙර අනාවරණය කර තිබිණ. දකුණු ආසියානු තාක්‍ෂණික හා වෛද්‍ය විද්‍යා ආයතනය (SAITM) යනුවෙන් ආරම්භකර තිබෙන්නේ ආයෝජන මණ්ඩලයෙන් අනුමැතිය ලබාගෙන ඇති තාක්ෂණික විද්‍යාලයක් නීතිවිරෝධී ලෙස පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් බවට පත්කරමිණි.

මෙය අයත් වන්නේ නෙවිල් ප්‍රණාන්දු නම් වෛද්‍යවරයෙකුටය. මොහු එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිසදහස් පක්ෂ ආණ්ඩු බලයේ සිටින අවස්ථාවන්හිදී පක්ෂ මාරුකළ පුද්ගලයෙකි. ඔහු විසින් ආරම්භකර තිබෙන මතභේදයට තුඩුදී ඇති මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව විශාල ජනමතයක් නිර්මාණය විය. එයට බදවාගත් මුල් සිසුන් කණ්ඩායමට සායනික පුහුණුව සදහා රජයේ රෝහල් ලබා නොදීම හේතුවෙන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝග මත ලංකා බැංකුවෙන් රුපියල් මිලියන 600ක් ලබාදී රෝහලක් ඉදිකෙරෙමින් පවතී. රජයේ වෛද්‍යවරුන් විසින් පෙන්වාදී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව එය නීතිවිරෝධීව ඉදිකෙරෙන බවයි.

මේ අතර රජයේ වෛද්‍ය විද්‍යාලවලට අයත් රජරට වෛද්‍ය පීඨයට මහාචාර්ය ඒකකයක් ලබානොදීමෙන් එම සිසුන්ගේ අවසන් වසර අධ්‍යනකටයුතු බිදවැටෙන තත්වයක පැවතියදී මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට රුපියල් මිලියන 600ක් ලබාදීම විශේෂත්වයකි. එමෙන්ම මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ මවුපියන් පිරිසක් විසින් එම වෛද්‍ය විද්‍යාලයේ පාලන අධිකාරිය එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු පවසා ඇත.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්