දැදුරුඔය ව්‍යාපෘතිය නිමවෙමින් පවතී

කුරුණෑගල සහ පුත්තලම් දිස්ත්‍රික්කවල කුඹුරු හෙක්ටයාර් 10200කට දෙකන්නයේම වගා කිරීම සඳහා අවශ්‍ය ජල පහසුකම් ලබාදීම සඳහා ආරම්භ කර ඇති දැදුරුඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් වෙමින් පවතින බව දැදුරුඔය ව්‍යාපෘතියේ ව්‍යාපෘති ප්‍රධාන ඉංජිනේරු සුනිල් පෙරේරා මහතා පවසයි.

රුපියල් මිලියන 6500ක මුදලක් වැය කර ඉදිකරනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ වාරිය‍පොළ, කොබෙයිගනේ සහ පඬුවස්නුවර ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසවලට වම් ඇළ මගින්ද මහව, නිකවැරටිය, කොටවෙහෙර යන ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසවල කුඹුරුවලට සහ ඉඟිනිමිටිය ජලාශය, නිකවැරටිය මාගල්ල ජලාශයට අයත් ප්‍රදේශයේ කුඹුරුවලට දකුණුඇළ මගින්ද ජලය සැපයේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙයි. කිලෝමීටර් 44ක් දුරැති වම් ඇළේ කි‍ලේ මීටර් 38කට වැඩි ප්‍රමාණයක් අවසන් කර ඇති අතර කිලෝ මීටර් 33ක් දිග දකුණු ඇළේ වැඩකටයුතුවලින් කිලෝමීටර් 20කට වැඩි කොටසක වැඩකටයුතු ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ ඉඩම් අහිමිවන පවුල් වෙනුවෙන් ගනේවත්ත ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ පීටර් වැලිවත්තේද, කොබෙයිගනේ ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ තෙලහැර වත්තෙන් සහ කරුවල්ගස්වැව ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ දෙවිඇළ ව්‍යාපාරය යටතේද ඉඩම් ලබාදී තිබේ.

මෙය ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යධූරය හොබවන අවධියේදී ආරම්භකරන ලද්දකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්