ශ්රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට දෙරටේ අවධානය යොමු වී තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් සහ තායිලන්තයේ වැඩබලන විදේශ කටයුතු ඇමති සරුන් චරොඑන්සුවන් (Sarun Charoensuwan) අතර බැංකොක් නුවරදී පසුගියදා පැවැති සාර්ථක සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවට පැමිණ ඇත.
මෙහිදී දෙරටේ සාමාන්ය ගමන් බලපත්ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී ඇති අතර එමඟින් දෙරට අතර සංචාරක ව්යාපාරය, ගමන් බිමන් සහ ජනතාව අතර සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඊට අමතරව වෙළඳ, ආයෝජන, සංචාරක, ශ්රමික සංචලතාව, අධ්යාපන, සාගරික ආරක්ෂාව සහ සංස්කෘතික හුවමාරු යන ක්ෂේත්රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳවද දෙරටේ අමාත්යවරුන්ගේ අවධානය යොමු වී ඇත. දෙරටේම ජනතාවට අන්යෝන්ය වශයෙන් ප්රතිලාභ අත්වන පරිදි මෙම ප්රායෝගික සහයෝගීතාව වර්ධනය කරගැනීමට මෙහිදී නැවත වරක් තහවුරු කර තිබේ.
















