යම් පාසලක දරුවකු ඩෙංගු රෝගයට ගොදුරුවී මිය ගියොත් එම මරණයේ වගකීම අදාළ විදුහලේ විදුහල්පතිවරයා විසින් භාරගත යුතු බවට චක්රලේඛයක් මගින් දැනුම් දී ඇත.
ඩෙංගු වැළඳීමෙන් ශිෂ්යයකු මිය ගිය වහාම අදාළ පාසල ආශ්රිතව කීට විද්යා සමීක්ෂණයක් සිදු කරන අතර එහිදී එම පාසලේ ඩෙංගු මදුරු කීටයන් ඇති බවට තහවුරු වූවොත් විදුහල්පතිවරයාට එම මරණයේ වගකීම භාර ගැනීමට සිදුවන බව දන්වා අධ්යාපන අමාත්යාංශ විසින් මෙම චක්රලේඛය නිකුත් කර ඇතැයි සෞඛ්ය අමාත්යාංශයේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ.
ඉදිරි මාස දෙක තුළ ඩෙංගු රෝගය යළි ඉහළ යැමේ අනතුරක් ඇතැයිද, කුරුණෑගල, මඩකලපුව, මාතර, ගම්පහ, කොළඹ, කලුතර, කල්මුනේ, කෑගල්ල සහ පුත්තලම යන දිස්ත්රික්කවල සෞඛ්ය වෛද්ය නිලධාරි කොට්ඨාස 25 ක් ඩෙංගු අවදානම් කළාප ලෙස හඳුනාගෙන ඇතැයිද සෞඛ්ය අමාත්යාංශ අතිරේක ලේකම් වෛද්ය පාලිත මහීපාල මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.
මේ දිනවල පාසල් නිවාඩු කාලය බැවින් බස්නාහිර පළාතේ පාසල් ආශ්රිතව මදුරු ඝනත්වය ඉහළ ගොස් ඇති බවද මෙම 23 දා නව පාසල් වාරය ආරම්භ වීමත් සමග පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්රියාත්මක නොකළොත් දරුවන් විශාල වශයෙන් ඩෙංගු රෝගයට ගොදුරු වීමේ අවදානමක් ඇතැයිද මෙම සාකච්ඡාවේදී සෞඛ්ය නිලධාරීන් පෙන්වා දී ඇත.









