ඩලස්-මනෝජ් දිනුවත් මන්ත්‍රී ධුරය අහෝසිවන ලකුණු!

ඩලස් අලහප්පෙරුම හා මනෝජ් සිරිසේන යන සන්ධාන අපේක්ෂකයන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරීපත්වුවත් ඔවුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වන බව නීති විශාරදයෝ පවසති.

මෙයට හේතු වී ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනයේ 91වැනි වගන්තියේ 20වැනි ඡේදය අනුව ද්විත්ව පුරවැසි භාවය හිමි පුද්ගලයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තේරීපත්වීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන නොමැතිවීමය.

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයෙන් ද්විත්ව පුරවැසි භාවය හිමි අපේක්ෂකයින් දෙදෙනෙකු සන්ධාන ලැයිස්තුවෙන් ඉදිරිපත්ව ඇති අතර එයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායක සුනිල් හඳුන්නෙත්ති මහතා සහ අපේ ජාතික පෙරමුණේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක කෝඩිකාර විජේවික්‍රමසිංහ මහතා මූලික විරෝධතා ගොනු කර තිබේ.

ඩලස් අලහප්පෙරුම මහතා ඇමෙරිකා පුරවැසි භාවය හා ශ්‍රී ලංකා පුරවැසි භාවයට හිමි කම් කියන බවත් මනෝජ් සිරිසේන මහතා ඕස්ට්‍රේලියා සහ ශ්‍රී ලංකා පුරවැසිභාවයට හිමි කම් කියන බවත් එහිදී ප්‍රකාශ කර තිබේ.

එම නාමයෝජනා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විරෝධතා දෙක තමාට ඇති බලතල අනුව ප්‍රතික්ෂේප කරන බව මාතර තේරීම් භාර නිලධාරී ඊ.ඒ.සී. විදානාච්චි මහත්මිය ප්‍රකාශ කර ඇති අතර අවශ්‍ය නම් අධිකරණයට යා හැකි යැයිද ඇය දන්වා තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායක සුනිල් සඳුන්නෙත්ති මහතා එහිදී ප්‍රකාශකර ඇත්තේ ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්