සතොස සේවකයන් 153 දෙනකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කොට වෙනත් කටයුතු සඳහා යොදවා ගෙන රජයට පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමති ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුළු තිදෙනකුට එරෙහි නඩුවේ රෝහල්ගතව සිටින්නේ යැයි පවසන තුන්වැනි විත්තිකරු පිළිබඳව වහාම වෛද්ය වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා පසුගිය 28වනදා නියෝග කර ඇත.
එම නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට නියමිතව තිබියදී තුන්වැනි විත්තිකරු වන සතොස හිටපු ක්රියාකාරි අධ්යක්ෂ රෝගී තත්වයක් බව පවසා රෝහල් ගතවී තිබේ.
අනුව අදාළ අධිකරණය නියෝගය ඔහු නේවාසිකව ප්රතිකාර ලබන්නේ යැයි කියන කුරුණෑගල සමුපකාර රෝහලේ අධ්යක්ෂවරයා වෙත ෆැක්ස් මාර්ගයෙන් යොමු කර වහාම වෛද්ය වාර්තාවක් කැඳවන ලෙස විනිසුරුවරයා අධිකරණ ලේඛකාධිකාරිට නියෝග කර ඇත.
සිය සේවාදායකයා හදිසියේ අසනීප වීම හේතුවෙන් ප්රතිකාර ලබාගැනීමට 27දා කුරුණෑගල සමුපකාර රෝහලට ඇතුළත් වී ඇතැයි එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි කනිෂ්ඨ නීතිඥයා අධිකරණයට පවසා ඇත.
එම නඩුවේ පළමු වන හා දෙවන විත්තිකරුවන් වන ජොන්ස්ටන් ප්රනාන්දු හා එරාජ් ප්රනාන්දු අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර නඩු විභාගය ලබන ජුනි 24 වැනිදා දක්වා කල් තබා ඇත.
පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීමට පැමිණ සිටි සාක්ෂිකරුට එදින යළි පෙනී සිටින ලෙසටද දන්වා තිබේ.










