ජාතික විධායක සභාවේ කාර්යභාරය අවසන් – අනුර දිසානායක

දින 100 අවසන් වී ඇති බැවින් තව දුරටත් ජාතික විධායක සභාව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් නොමැති බවත් එය මේ වනවිට අර්ථ ශූන්‍ය තත්වයට පත් වී ඇති බවත් එයට පැවරී තිබූ කාර්ය භාරයන්ගෙන් සැළකිය යුතු කොටසක් මේ වනවිට ඉටු කර ඇති බැවින් රටට අවශ්‍ය අලුත් දේශපාලන ගමනක් අවශ්‍ය බවත් අද (13) පෙරවරුවේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී ජනතාව දැනුවත් කිරීමේ අත් පත්‍රිකා බෙදා හරිමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

” දින 100 අවසන් අලුත් දේශපාලන ගමනකට පෙළගැසෙමු! ” තේමාව යටතේ එම පත්‍රිකා බෙදා හැරීම සිදු කිරීමේ අවස්ථාවට අනුර කුමාර දිසානායක මහතාට අමතරව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභිකයින් වන කේ.ඩී. ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති මධ්‍යම කාරක සභිකයින් වන නීතිඥ සුනිල් වටගග, සමන්මලී ගුණසිංහ යන නායකයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියෝය.

එහිදී අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්

”මේ පාර්ලිමේන්තුව කතානායකවරයා අභිමුඛව ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා විපක්ෂ නායකවරයා කවුද කියලා. තව දුරටත් එය තීරණය කරන්න අසමත් වෙලා තියෙනවා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා ඔහුට ඔක්සිජන් තියෙන්නේ අප්‍රේල් 23 වෙනකන් කියලා. දැන් අප්‍රේල් 23 වෙනිදා පහුවෙලා සති තුනක් ගෙවිලා ගිහින් තියෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ මහතා නීති විරෝධීව ඔක්සිජන් ලබා ගනිමින් තමයි අග්‍රාමාත්‍යවරයා එම ධූරයේ රැදී ඉන්නේ. පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාට රැදී සිටින්නත් විපක්ෂ නායකවරයාට රැදී සිටින්නත් බලයක් නැති නම් මේ පාර්ලිමේන්තුව විසිරුවා හැර අලුත් ජනවරමක් ලබා ගැනීමට අවස්ථාව ලබා දිය යුතු වෙනවා.

ඒවගේම මේ රට අවුරුදු 67ක් ගමන් කරපු මාවත අසාර්ථක බව මේ වනවිට ඔප්පු වෙලා තියෙනවා. වත්මන් දින සියයේ පාලනය තුළත් වංචාව දූෂණය නතර කරනවා වෙනුවට ඒවාට හවුල් වෙලා තියෙනවා. කාර්යක්ෂම පාලනයක් ගෙන යනවා වෙනුවට අකාර්යක්ෂම පාලනයක් ගොඩ නැගිලා තියෙනවා රාජ්‍ය ආයතන තුළ අකාර්යක්ෂමතාවය ගොඩ නැගිලා තියෙනවා. විශේෂයෙන්ම කොළඹ වරාය තුළ කන්ටේනර් බහලුම් විශාල ප්‍රමාණයක් ගොඩ ගැහිලා තියෙනවා. හිටපු පාලකයිනුත් වත්මන් පාලකයිනුත් මේ වනවිට ඔප්පු කරමින් තිබෙන්නේ ඔවුන්ගේ අසාර්ථකත්වය. එවැනි වටපිටාවක තමයි ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි රටට අලුත් ගමනක් අවශ්‍ය බව දැනුවත් කරමින් සිටින්නේ. ඒ ගමන වෙනුවෙන් ජනතාවගෙන් යෝජනා අදහස් ලබා ගනිමින් සිටින්නේ. ජනතාව සමග රට අලු
ත් ගමනකට කැඳවාගෙන යන්න අවශ්‍ය කරන බලය වෙනුවෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී
ජනතා විමුක්ති පෙරමුණට ශක්තිමත් බලයක් ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමටත්, ජනතාව අතරට ගොස් අදහස් හා යෝජනා ලබා ගැනීමටත් ඉදිරියේදී අපි වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා.” යැයි පැවසීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්