ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2031දී කඩා වැටෙයි

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2031දී කඩා වැටෙයි

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS)2030 වසර දක්වා භාවිතයේ පවතිනු ඇති බවත්, අනතුරුව 2031 වසරේ මුල්භාගයේ දී ශාන්තිකර සාගරයට කඩා වැටෙනු ඇතිබවත් NASA ආයතනය ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සැකිල්ල පැරණි වීමත් එහි උපකරණ පැරණි වීමත් මත මෙලෙස අතහැර දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ශාන්තිකර සාගරයේ ‘පොයින්ට් නීමෝ’ යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයට කඩා වැටෙනු ඇති බව එක්සත් ජනපද අභ්‍යවකාශ ආයතනය නිකුත් කළ වාර්තාවක දක්වා ඇත.

අභ්‍යවකාශ මධ්‍යස්ථානය කඩා වැටෙන මුහුදු ප්‍රදේශය පෘථිවියේ ගොඩබිමකට වඩාත්ම ඈතින් පිහිටන සාගර ප්‍රදේශය වන අතර, එය ‘අභ්‍යාවකාශ යානා සුසානය’ ලෙස ද හඳුන්වනු ලැබේ. මීට පෙර 2001 වසරේ දී කඩා වැටුණු ‘මීර්’ නම් රුසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය ද ඇතුළු බොහෝ පැරණි චන්ද්‍රිකාවන් හා අනෙකුත් අභ්‍යවකාශ සුන්බුන් ද මෙම ස්ථානයට කඩා වැටී ඇත.

ඇමෙරිකාවේ සහ රුසියාවේ අභ්‍යවකාශ ආයතනය මූලිකත්වයෙන් 1998 වසරේදී මෙම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගොඩනැගූ අතර ඊට තවත් රටවල් කිහිපයක අභ්‍යවකාශ ආයතන සම්බන්ධවී කටයුතු කරනු ලබයි. 2000 වසරේ සිට මේ දක්වා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩලය රැඳී සිටින අතර පර්යේෂණයන් 3000කට වැඩි සංඛ්‍යාවක පරීක්ෂණ කටයුතු එහි ක්ෂුද්‍ර ගුරුත්ව විද්‍යාගාරයේ දී සිදුව ඇතැයි පැවසේ.

මෙම අභ්‍යාවකාශ මධ්‍යස්ථානය විශ්‍රාම ගැන්වීමට නියමිතව තිබී ඇත්තේ 2024 වසරේදීය. එහි කාලය දීර්ඝ කරන්නේ නම් ඊට සම්බන්ධ සියලු කොටස්කරුවන්ගේ එකඟතාවය මත සිදුවිය යුතු බවද පැවසේ. මේ වනවිට අභ්‍යවකාශ නිරීක්ෂණ කටයුතු වාණිජ මට්ටමින් ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇති අතර පෞද්ගලික ව්‍යාපාර මට්ටමින් එය වර්ධනය වෙමින් පවතීමත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කටයුතු වෙනුවෙන් නාසා ආයතනයට අධික පිරිවැයක් දරන්න සිදුවීමත් මත මෙවැනි තත්වයක් උදා වී ඇති බව පැවසේ.

මේ අතර රුසියාවේ රොස්කොස්මෝස් අභ්‍යවකාශ කාර්යාංශය (Roscosmos)පවසන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙනුවෙන් හවුල්කරුවන් සමඟ අත්සන් කර ඇති ගිවිසුම 2024 වසරේදී අවසන් වන බැවින් 2025 දී තමන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වන බවයි.

මේ වනවිට රුසියාව මෙන්ම චීනයද තමන්ගේ වූ අභ්‍යාවකාශ මධ්‍යස්ථාන ගොඩ නැගීම වෙනුවෙන් කටයුතු ආරම්භ කර ඇති අතර රුසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පළමු මූලික මොඩියුලයේ වැඩ පසුගිය වසරේ සිට ආරම්භ කර ඇති බව Roscosmos කාර්යාංශයේ ප්‍රධානියා වන දිමිත්‍රි රෝගොසින් පවසයි. රුසියානු අභ්‍යවකාශ මොඩියුලය එකලස් කරනු ලබන්නේ Energia සමාගම විසිනි. ඒ සඳහා අවම වශයෙන් ඩොලර් බිලියන 5ක් වැයවනු ඇති බව Interfax පුවත් සේවය වාර්තා කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්