ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ දුක කියති…

විශ්‍රාමිකයන්ටත් සේවකයින්ටත් රන් දෙවොලක් බඳු වූ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අද වනවිට අපායක් වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ සඳහන් කරති. ඔවුන් එසේ සඳහන් කරමින් ලංකාටෘත් වෙත පහත ලිපිය එවා තිබේ.

“ලක්ෂ 5ක් පමණ ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියනුත්, ඔවුන්ගේ ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන 700ක් පමණ වූ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවක මඩුල්ලත් අද මුහුණදී ඇත්තේ ඉතාමත් ශෝචනීය තත්ත්වයකටය.

මීට මාස 6 කට පමණ පෙර අප විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පිය නඟනා විටදී  ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික පුරවැසියන් ලෙස අපහට නිසි ගෞරවය දක්වමින් ඉතාමත් කාරුණිකව අප පිළිගත්තේය. එලෙසම අපගේ අවශ්‍යතාවයන්ද කිසිදු ප්‍රමාදයකින් තොරව ඉටු කරදීමට එදා එහි සේවක මඩුල්ල සතුටින් ක්‍රියා කළහ. මෙම දෙපාර්තමේන්තුවේ ස්වර්ණමය යුගයක් ද විය. එහි ප්‍රතිඵලයක් ලෙස දකුණු ආසියාතික කලාපයේ හොදම රාජ්‍ය ආයතනය ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව “Future Government” සම්මානයෙන් ද පිදුම් ලැබීය. එය අප රටටත්, එහි කාර්‍යය මණ්ඩලයට මෙන්ම අපහට ද මහත්වූ අභිමානයක්ම විය.

අද වනවිට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ එම තත්ත්වය උඩු යටි කුරු වී ඇත. මේ ආයතනයට පැමිණෙන  විශ්‍රාමිකයින් අද ඉන් පිටව යන්නේ බලාපොරොත්තු කඩවුණු, කළකිරුණු, මැළවුණු මුහුණු වලින්මය. එදා ඉතාමත් ප්‍රියමනාපව සතුටින් කාර්‍යක්ෂමව රාජකාරියේ නියැළුණු සේවකයින්ගේ මුහුණුද එසේමය.

මෙවැනි අභාග්‍ය සම්පන්න, ඛේදනීය තත්ත්වයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අත්වී ඇත්තේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන් නිසාය. මේ වනවිට විශ්‍රාමික පාරිතෝෂික ලබාගැනීමට නොහැකිව 15,000කට අධික පිරිසක් සිටිති. මේ පිරිස අතර පිළිකා රෝගවලට හා වෙනත් රෝගාබාධයන්ට ලක්ව ප්‍රතිකාර ලබාගැනීමට මුදල් අත්‍යවශ්‍ය වී සිටින විශ්‍රාමිකයින් පිරිසක්ද සිටිති. ඔවුනගේ පාරිතෝෂික දීමනා ලබා ගැනීමට ජනරාල්වරයා ඉදිරියේ වැඳ වැටී ඔවුන් පත්ව සිටින අසරණ තත්ත්වය පැහැදිලි කරමින් පාරිතෝෂික දීමනා ඉල්ලා සිටියත්, ඔවුන්ගේ දීමනා ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ජනරාල්වරයාගේ හිතවතුනට පමණක් පාරිතෝෂික දීමනා ලබාදීමට කටයුතු කිරීම ඉතාමත් අමානුෂික තත්ත්වයක් වී ඇත.

විශ්‍රාමිකයින් රටට වැදගත් නොවන පිරිසක් බවත්, රජය විශ්‍රාම වැටුප වෙනුවෙන් දරණ පිරිවැය නිස්කාරණ වියදමක් බවත් පවසන විශ්‍රාම වැටුප් ජනරාල්වරයා, යම් දිනක ඔහු මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත්වුවහොත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වසා දැමීමට කටයුතු කරන බවද පවසයි. මෙවැනි අදහස් වලින් සපිරි නිලධාරියෙක් මේ තනතුර හොබවද්දී අප වැනි විශ්‍රාමිකයින්ගේ අනාගත ඉරණම ඉතාමත් දුක්මුසු තත්ත්වයකට පත්වනු නොඅනුමාණය.

විශ්‍රාමිකයින්ට මෙවැනි තත්ත්වයක් උදාවද්දී මෙතුමාගේ නොමනා ක්‍රියා කලාපයන් නිසා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද දැඩි පීඩාවට ලක්වී ඇත. නිරතුරුවම ප්‍රසිද්ධියේ අසභ්‍ය, පරුෂ වචන වලින් නිලධාරීන්ට හා නිලධාරීනියන්ට බැණ වැදීම මොහුගේ සාමාන්‍ය දින චර්‍යාවක් වී ඇත. කෙටි කාලසීමාවක් තුළ නිලධාරීන් කිසිදු හේතුවක් නොමැතිව තැනින් තැනට මාරු කිරීම, ජෙනරාල්වරයා වෙත උපදෙස් සඳහා යොමු කරන ලිපි ගොනු පිළිබඳවද කිසිදු තැකීමක් නොකිරීම, ඒවා නැවත ලබා ගැනීමට මාස ගණනක් ගතවීම, විශ්‍රාම වැටුප් විෂයය පිළිබඳ කිසිදු දැනීමක් නොමැතිකම හා ඒ ගැන දැනුමක් ලබාගැනීම උපහාසයට ලක්කිරීම වැනි ක්‍රියාවන් නිසා මේ වනවිට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරීන්ට මොහු සමඟ රාජකාරි කිරීම දැඩි අසීරුතාවක් මෙන්ම, මානසික පීඩාවක්ද වී ඇත. මීට පෙර උදෑසන නිවසින් දෙපාර්තමේන්තුවේ සේවය සදහා සතුටු සිතින් පැමිණි නිලධාරීන් දැන් මෙම ආයතනය වෙත පැමිණෙන්නේ අපායක සේවයට යනවා වැනි අප්‍රසන්න හැඟීමකින් බව ඔවුහු පවසති. මෙහි ප්‍රථිපලයක් ලෙස නොබෝදා මෙතුමාට විරුද්ධව සේවකයින් විසින් උද්ඝෝෂණයක්ද පවත් වන ලදී.

මෙවැනි අමානුෂික අදහස් වලින් සපිරි හදවතක් ඇති පුද්ගලයෙක් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල් වැනි ධුරයක් හොබවත්දී  දීර්ඝ කාලයක් රාජ්‍ය සේවයේ යෙදී විශ්‍රාමිකව, වයෝවෘද්ධව නොයෙකුත් ව්‍යාධි වලට ලක්ව අසරණව දිවි ගෙවන අපගේ ගැටළු වලට කිසි දිනක සාධාරණයක් ඉටු නොවනු ඇත.

ලක්ෂ 5 ක් පමණ ඉක්මවූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියනුත්, 700 ක් පමණ වූ සේවක පිරිසත් තනි පුද්ගලයෙක්ගේ ක්‍රියා කලාපයන් නිසා පීඩාවට, අසරණභාවයට පත් නොකොට, විශ්‍රාමිකයින්ගේ ගැටළුවලට සානුකම්පිතව අවධානය යොමු කල හැකි, විශ්‍රාම වැටුප් විෂය ගැන දැනුමැති, සේවකයින්ගෙන් පලදායි ලෙස සේවය ලබාගැනීමට පරිපාලනමය දැනුමක් සතු නව අධ්‍යක්ෂ ජනරාල්තුමෙකු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට කඩිනමින් පත් කරදෙන මෙන් අතිගරු ජනාධිපතිතුමාගෙනුත්, විෂය භාර අමාත්‍ය ගරු ජෝන් සෙනෙවිරත්න මැතිතුමාගෙනුත් ඉතාමත් කාරුණිකව අප ඉල්ලා සිටින්නෙමු.

මෙයට ජ්‍යෙෂ්ඨ විශ්‍රාමිකයින්”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්