ජනපතිගේ රසායනික පොහොර තහනම බැසිල් රිවස්කරයි…

ජනපතිගේ රසායනික පොහොර තහනම බැසිල් රිවස්කරයි…

මෙරට කෘෂිකාර්මික කටයුතු සඳහා රසායනික පොහොර ආනයනය සහ භාවිතය තහනම් කරමින් ජනාධිපතිවරයා විසින් ගනුලැබූ තීරණය අත්හිටුවීමට නව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කටයුතු කර තිබේ.

ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පූර්ණ කර රටට අවශ්‍ය කාබනික පොහොර රටතුළ නිපදවීම ආරම්භ කරන තෙක‍්, සීමාවන්ට යටත්ව රසායනික පොහොර ආනයනය සඳහා අවසර ලබාදීමටයි තීරණය කර ඇත.

රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ නියෝග මත ආණ්ඩුව තීරණය කිරීමත් සමග ගොවීන්ගෙන් ආණ්ඩුවට දැඩි විරෝධයක් එල්ල වූ අතර නිරෝධායන නීති නොතකා උද්ඝෝෂණ පැවැත්වීමටද ගොවි සංවිධාන කටයුතු කළේය.⁣ එලෙස විරෝධතා පැවැත්වීම හේතුවෙන් ගොවි නායක නාමල් කරුණාරත්න සහ ජවිපෙ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත් ඇතළු බොහෝ පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවටද⁣ ගන්නා ලදී. ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ කාබනික පොහොර භාවිතා කර ගොවිතැන් කිරීම දීර්ඝකාලින ක්‍රියාවලියක් හෙයින් එකවර රසායනික පොහොර ආනයනය තහනම් කිරීම හේතුවෙන් ගොවීන් දැඩි අසරණ තත්වයකට පත්ව සිටින බවයි.

ඒ අනුව පවතින ගැටලු පිළිබඳවද සලකා බලා රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදීමටයි මුදල් ඇමතිවරයා තීරණය කර තිබේ. කෙසේ නමුත් කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමේ හා කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත්ව සිදුකිරීමටත් හැකි ඉක්මනින් රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන් අත්හිටුවීමටත් මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

රසායනික පොහොර තහනම් කිරීමේ ජනාධිපතිවරයාගේ තීරණය ලඟදීම වෙනස්වනු ඇතැයි පසුගිය 5වන සඳුදා රූපවාහිනී සංවාදයකට එක්වෙමින් ජවිපෙ නායක අනුර දිසානායක සඳහන් කළෙය. ඔහු පැවසූමේ මෙම රසායනික පොහොර තහනම මෙලෙසම පැවතියහොත් ඉදිරියේදී රට තුළ ආහාර හිගයක් ඇතිවන බවය.

එහෙත් ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළේ රසායනික පොහොර තහනම කිසිලෙසකින් හො ආපසු නොගන්නා බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්