ඛනිජ තෙල් කර්මාන්ත ඇමති චන්දිම වීරක්කොඩි මහතා මීට දෙසතියකට පෙර ඉන්ධන සඳහා මිල සූත්රයක් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව පසුගියදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉවත්කර ගෙන ඇති බව වාර්තා වේ.
එම යෝජනාවට මුදල් අමාත්යංශයට එකඟ විය නොහැකි බව කැබිනට් මණ්ඩලයේදී ප්රකාශ කිරීමත් සමග අදාළ කැබිනට් පත්රිකාව ඉවත් කරගෙන ඇති බව පැවසේ.
මේ වනවිට ලෝක වෙළඳ පොළ තුළ බොරතෙල් මිල සිඝ්රයෙන් පහළ බැස තිබෙන අතර එහි වාසිය මෙරට ඉන්ධන පාරිභෝගිකයින් වෙත ලබා නොදෙමින් එය මඟහැරීමට ආණ්ඩුව විවිධ ප්රකාශ සිදුකරමින් සිටී.
ලෝක වෙළඳපෙළේ මේ වනවිට පවතින තෙල් මිල ගණන් අනුව මෙරට ජනතාවට පෙට්රල් ලීටරයක් රුපියල් 52කට සහ ඩීසල් ලීටරයක් රුපියල් 42කට අලෙවි කළ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිකර තිබිණ. මෙම මිල ගණන්වලට ලබා දිය හැක්කේ රජයේ බදු සහ සංස්ථාවට ලාභ කොටසක්ද තබාගෙන බව වැඩිදුරටත් හෙළිකර තිබිණ.









