ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් මැඩ පැවැත්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂගේ නීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය නොදිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අවධරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයේ අද (03) පස්වරුවේ පැවති මාධ්ය හමුවක් අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක,
“පොදු ජනතාවගේ උද්ඝෝෂණ, විරෝධතාවයන්ට එරෙහිව ආණ්ඩුව මර්දනයන් දියත් කර ඇති බව පැහැදිලියි. සෑම තරාතිරමක පොදු ජනතාව බේදයකින් තොරව මේ ආණ්ඩුව ඇති කර තිබෙන පීඩනයෙන් විශාල කැළඹීමකට ලක්වී සිටිනවා. මේ සම්බන්ධයෙන් තමන්ගේ කෝපය, තමන්ගේ වේදනාව පසුගිය කාලය පුරාම විවිධාකාරයනේ ප්රකාශයට පත්කළා. නමුත් ආණ්ඩුවේ හැසිරීම තිබුණේ මේ ජනතාවගේ ආණ්ඩු විරෝධය වැඩි කිරීමේ දිසාවට මිස සමනය කරන දිසාවට නෙවෙයි. පැය 5ක් විදුලිය කැපීම, පැය 13ක් දක්වා දීර්ඝ කළා. තෙල් මිල නැවත නැවත වැඩි කළා. පෝලිම් ඇති කළා. ගෑස් මිල නැවත නැවත වැඩි කළා. පෝලිම් ඇති කළා. සියලුම අත්යවශ්ය භාණ්ඩවල හිඟයක් ඇති කළා. මේ තත්වයට එරෙහිව ජනතාව ස්වේච්ඡාවෙන් පාරට බහින්න පටන් ගත්තා. මෙතෙක් විරෝධතාවලට සහභාගී නොවුණු ජනතාව මධ්යම රාත්රිය වනතුරු විරෝධතාවල යෙදී සිටියා. මේ විරෝධයන් එනවිට ආණ්ඩුව මාධ්යවේදීන් සහ ජනතාවට ප්රහාර එල්ල කර විශාල පිරිසක් අත්අඩංගුවට ගත්තා.
මෙවැනි තත්වයකදී ජනතාව තුළ බුර බුරා නැගෙන කෝපය, විරෝධය, වේදනාව සමනය කිරීම වෙනුවට විවිධාකාරයනේ එය උත්සන්න කළා. අවසානයේ ජනතාව මර්දනය කරන්න නීති අන පනත් උපයෝගී කර ගත්තා. 01දා රාත්රියේ ජනාධිපතිවරයා හදිසි නීතිය පැනවූවා. රටේ කලකෝලාහලයක්, ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් නිසා හදිසි නීතිය පැනවූවා නොවෙයි. ඔවුන්ගේ ආරක්ෂාවට පැනවූවක්. මෙතෙක් පාර්ලිමේන්තුවේ සම්මත කොට තිබුණු සියලු අන පනත් ඉක්මවා යාමේ බලයක් ජනාධිපතිවරයාට හදිසි නීතියෙන් පැනවෙනවා. ඕනෑම නීතියක් අත්හිටුවීම, අවලංගු කිරීම, අන පනත් අලුතින් පැනවීම ආදී විශාල බලතල ප්රමාණයක් හදිසි නීතිය යටතේ අත්කරගෙන තිබෙනවා. ඇඳිරි නීතිය පැනවූවෙත් මේ තත්වය නිසයි. ආණ්ඩුවට එරෙහිව එල්ල වන විරෝධය යටපත් කිරීමේ බියගුලු පියවරක් සහ මර්දනීය පියවරක් මේක. ඊයේ (02) රාත්රීියේ හමුදා අනු ඛන්ඩ විශාල ප්රමාණයක් කොළඹට කැඳවා තිබුණා. අපි ගෝඨාභය රාජපක්ෂගෙන් අහන්නේ මේ නන්දිකඩාල්ද කියලා? සාමාන්ය ජනතාව සාමකාමී ලෙස තමන්ගේ විරෝධය ප්රකාශ කරමින් තිබෙන අවස්ථාවක් මේක. මෙයින් පෙන්නුම් කරන්නේ බුර බුරා නැගෙන විරෝධතාවයන්ට ප්රතිචාර දක්වන්නේ කවරාකාරයෙන්ද යන්නයි.
ගෝඨාභය රාජපක්ෂගේ නිවස ඉදිරියට ගිය ජනතාව කියන්නේ අපේ රටේ ජනතාවගේ අවශ්යතාවයන් කිසිවක් සපයන්න අසමත්වූ පාලකයෙක් බව. ඔහුටත් ඔහුගේ පවුලටත් ගෙදර යන්න කියලයි කියන්නේ. මේ හමුවේ මිරිහානේ පහර දීම, සමාජ මාධ්ය ක්රියාකාරික තරුණයෙක් ඒ නිශ්චිත මොහොතේදී පැහැරගෙන යාම, සහ සමාජ මාධ්ය වාරණය කිරීම සිදුකර තිබෙනවා. හදිසි නීතියත් ඇඳිරි නීතියත් ජනතාවගේ හඬ යටපත්කිරීම සඳහා ගෙනත් තිබෙන මර්දනීය නීති. ඒවාට විරෝධය පාන්න ජනතා විමුක්ති පෙරමුණේ අපි රට පුරා උද්ඝෝෂණ මාලාවක් දියත් කළා. විරෝධය පෑමට තිබෙන අතියිතය මහරගම ඇතුලු රටේ ප්රදේශ රැසක ඒ අයිතිය ක්රියාත්මක කළා.
හදිසි තත්වය ප්රකාශයට පත්කරන්න ජනාධිපතිවරයාට බලතල තිබුණත් එය පාර්ලිමේන්තුවෙන් අනුමත කරගන්න ඕනෑ. එය එක දිනයකින් හෝ දීීර්ඝ කර ගන්න අවස්ථාව නොදෙන බව අපි ප්රකාශ කරනවා. ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් මැඩ පැවැත්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ පනවන ලද නීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය නොදිය යුතුයි. වාරියපොලදී අපේ සහෝදරවරු 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිටපු පාර්ලිමේන්ත මන්ත්රී නාමල් කරුණාරත්න සහෝදරයාගේ වාහනයත් එහි රියදුරාත් කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොළොන්නරුවේදී අපේ සහෝදරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආණ්ඩුවේ මේ බියවැද්දීම්වලට ජනතා විමුක්ති පෙරමුණේ අපි කිසි සේත් යටත් නොවන බව ගෝඨාභයත්, ඔහුගේ පවුලත් ඔහුගේ ආණ්ඩුවවත් දැනගත යුතුයි. අපි ඉතාමත් සාමකාමී ලෙස ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීමට කටයුතු කරන දේශපාලන ව්යාපාරයක්. රටේ සාමාන්ය නීති වලංගු නොවන තත්වයක් ඇතිකොට ගෝඨාභයගේ ඔළුවේ ඇතිවන සිතිවිලි නීති බවට පත්කළ හැකි තත්වක් ඇතිකරගෙන තිබෙනවා.
මෙම මර්දන නීතිවලට එරෙහිව පේරාදෙනිය විශ්වවිද්යාලයේ සිසුන් කළ උද්ඝෝෂණයට කඳුළු ගෑස් එල්ල කර පහර දී තිබෙනවා. ඒ වගේම 02දා රාත්රියේ අපේ ආරච්චිකට්ටුවේ ප්රාදේශීය සභා මන්ත්රී අජිත් ගිහාන් සහෝදරයාගේ නිවසට සනත් නිශාන්ත මැර ඇමති සොහොයුරාගේ මැර කණ්ඩායමක් ඇවිත් පහර දී තිබෙනවා. ඔහුගේ බිරිඳ සහ දරුවන් බිය වද්දා නිවසේ නවතා තිබු වාහනයට පහර දී අලාභහානි සිදුකොට ජනෙල්වලට පහර දී බඩු බාහිරාදියට අලාභහානි සිදකර තිබෙනවා. ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා පොර බදන මහජන ව්යාපාරවලට, දේශපාලන ව්යාපාරවලට තර්ජනය කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ සහ සරත් වීරසේකර සපයන රැකවරණය සහිතව කාන්තාවන්ට තර්ජනය කර දරුවන් බිය වද්දමින් දේපලවලට අලාභහානි කරමින් දියත් කළ මැර ප්රහාරයට ගත් ක්රියාමාර්ග මොනවාද? මේ ප්රහාරයන් සිදුවන්නේ ගෝඨාභය රාජපක්ෂගේත් සරත් වීරසේකරගේත් අනුදැනුම සහ රැකවරණය සහිව බව නීතිය ක්රියාත්මක නොකිරීමෙන් පේනවා. පැමිණි මැරයන් සම්බන්ධයෙන් නම් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. මර්දනීය නීති සම්මත කර ගනිමින් ජනතාව බිය වැද්දීමට ගෙනයන බියගුලු ක්රියාව පරාජයට පත්කළ යුතුයි.
අපේ රටේ සාමකාමී ජනතාවගේ, පුරවැසියන්ගේ අයිතීන් යොදා ගනිමින් තමන් පත්කළ පාලකයන් එල්ල කරන පීඩනයට එරෙහිව යා හැකියි. ඒ වෙනුවෙන් පුරවැසියන්ට තිබෙන අයිතිය පාලකයන්ට පැහැර ගන්න ජනතා විමුක්ති පෙරමුණේ අපි කිසි සේත්ම ඉඩ දෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂගේ බියගුලු මර්දනීය ක්රියාමාර්ග වහාම අකුළා ගන්න කියලා අපි බල කරනවා.”
මාධ්යවේදීන් නැගූ ප්රශ්නවලට පිළිතුරු දෙමින්….
“තමන්ව මර්දනය කරන්න බිය වද්දන්න තමන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය මන්ත්රීවරයා අත උස්සනවා නම් ඒ ජනතාවට කුමණ ආකාරයේ බලාපොරොත්තු ඇති වෙනවාද කියලා තේරුම් ගන්න පුළුවන්. සැබවින්ම ජනතාවගේ නියෝජිතයන් නම් මේ මර්දනීය අන පනත්වලට එරෙහි විය යුතුයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මේ මොහොතෙත් පුළුවන්. පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ සරල බහුතරයෙන් එය කළ හැකියි. ඒ මොහොතේ පාර්ලිමේන්තුවේ රැඳී සිටින මන්ත්රීවරුන්ගෙන් බහුතරයක් අත ඉස්සුවොත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. 113ක් අවශ්ය නැහැ. එක් මොහාතක පාර්ලිමේන්තුවේ රැඳී සිටින්නේ මන්ත්රීවරුන් 50ක් නම් 26ක් අත ඉස්සුවොත් විසුරුවා හරින්න පුළුවන්. ඒ වගේම පාර්ලිමේන්තුවට අවුරුදු දෙක හමාරක් සම්පූර්ණ වූ පසුව ඕනෑම මොහොතක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. ජනතාව දැන් කියන්නේ ජනාධිපතිවරයාට, මේ ආණ්ඩුවට ගෙදර යන්න කියලා. රටේ ජනාධිපතිවරයෙකු ගුහාගත වෙලා රටක් පාලනය කරන්න පුළුවන්ද? ජනතාවගෙන් සැඟවී ජනතාවට නොපෙනී රටක් පාලනය කරන්න බැහැ. තමන්ගේ පාලනය පිළිබඳවත් තමන් පිළිබඳවත් ජනතාවගේ මතය මොකක්ද කියලා ගෝඨාභය රාජපක්ෂ දැන් තේරුම් ගන්න ඕනෑ.”










