ඡායාරූපයෙන් සාමය කියාදෙන වියට්නාම ගැහැණිය

වියට්නාම යුද්ධය අති විශාල මිනිස් ජීවිත ගණනක් ලෝකයට අහිමි කළා. එම යුද්ධයේ අමිහිරි මතක ඇතුලත් ඡායාරූප විශාල ප්‍රමාණයක් ලෝකය තුල සංසරණය වුණා.

එම ඡායාරූප අතරින් හද කම්පා කරවන වගේම ඉතා ජනප්‍රිය වූවක් ලෙස නිරුවත් ගැහැණු දරුවෙක් සහ තවත් ළමුන් පිරිසක් ගුවනින් හෙළන බෝම්බ වලට බියෙන් දිව යන අයුරු දැක්වෙන ඡායාරූපය හඳුන්වනවා. මෙම ඡායාරූපය වියට්නාම යුද්ධය ඉකමනින් අවසන් වීමටත් හේතු වූ බව පැවසෙනවා.

මෙය ගෙන තිබුණේ මීට වසර 43ට පෙර එනම් 1972 වසරේදී Trang Bang නම් ගම්මානයේදීයි. මෙහි නිරුවතින් දිව එන ගැහැණු දරුවා අද වයස අවුරුදු 52 ක කාන්තාවක්. ඇගේ නම Kim Phuc ඇගේ පවුලේ පිරිස අවතැන් වී පන්සලක ලැඟුම් ගෙන සිට ඇත. ඒ අවස්ථාවේ නවාතැන් ගෙනසිටි ප්‍රදේශයට බෝම්බ හෙළීමත් සමඟ ඇගේ සිරුරටත් ගිණි ඇවිලීම හේතුවෙන් ඇය ඇඳුම් සියල්ල ගලවා දමා බෝම්බ වලින් බේරීමට දුව ගොස් තිබෙනවා.

පසුව ඇය ඇතුළු අනිත් දරුවන් ආරක්ෂිතව රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ මෙම ඡායාරූපය ගත් ඡායාරූප ශිල්පියා වන Nick Ut විසිනුයි. Kim Phuc පවසන පරිදි පසුකලෙක ඇය මෙම ඡායාරූපයට මහත් සේ වෛර කර තිබෙනවා. නමුත් දැන් තත්ත්වය වෙනස්. ඇයට කරදරයක් වූ මෙම ඡායාරූපය දැන් ඇය ලෝක සාමය වෙනුවෙන් යොදාගන්නවා. එකසත් ජාතීන්ගේ නියෝජිතයෙක් ලෙස ක්‍රියාකරන Kim Phuc මෙම ඡායාරූපයත් රැගෙන යුද්ධයේ බිහිසුණු බව පිළිබඳ විස්තර කරමින් ලෝකය පුරා සංචාරය කරනවා. ඒවගේම ඇය යුද්ධයෙන් අසරණ බවට පත්වෙන දරුවන්ට පිහිට වීම සඳහා සුබසාධන වැඩපිළිවෙලක්ද පවත්වාගෙන යනවා.

ඇමෙරිකාව වියට්නාමයේ වියට්කොම් ගරිල්ලන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුම් හා ගුවන් ප්‍රහාර ආරම්භ කළේ ඇමෙරිකානු රූකඩ පාලනය වියට්නාමය තුළ රැක ගැනීම වෙනුවෙනි. එහෙත් වියට්කොම් ගරිල්ලන්ගේ උපක්‍රමික ප්‍රහාර හමුවේ ලෝක යුද බලවතාට දරුණු ප්‍රතිප්‍රහාරයන්ට මුහුණ දීමට සිදුවිය. අවසානයේ ඇමෙරිකානුවන් සිය පරාජය පිළිගනිමින් වියට්නාමයෙන් පිටවිය.

ෆේස් බුක් සමාජ ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි.


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්