චීන ණය උගුලේ වැටුණු මොන්ටිනිග්‍රෝ රාජ්‍යයත් බරපතළ අර්බුදයක!

චීන ණය උගුලේ වැටුණු මොන්ටිනිග්‍රෝ රාජ්‍යයත් බරපතළ අර්බුදයක!

ඊයේ දිනය පුරා බටහිර මාධ්‍ය තුල ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය චීනයට සින්නවීම පිළිබඳව හරි හරියට කතා කෙරුණේ ඒ හා සමාන සිදුවීමකට පැරණි යුගොස්ලවියානු රාජ්‍යයයක් වන මොන්ටිනිග්‍රෝවද මුහුණ දෙමින් සිටින නිසාවෙනි. කිසිදු ටෙන්ඩර් පටිපාටියකට හෝ පරිසර අධ්‍යයන වාර්තාවක් නොමැතිව මොන්ටිනිග්‍රෝ හා සර්බියාව අතර අධිවේගී මාර්ගයක් ගොඩනැගීම වෙනුවෙන් ඩොලර් මිලියන 1000ක් චීන රජයට අයත් China Exim Bank වෙතින් ලබා ගැනීම නිසා එය ගෙවා ගැනීමට නොහැකිව මොන්ටිනිග්‍රෝ රාජ්‍යය මේ වනවිට බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ.

මාර්ෂල් ටිටෝ විසින් දෙවන ලෝක මහා යුද්ධයෙන් පසුව ගොඩනැගූ සමාජවාදී යුගෝස්ලාවියාව යුරෝපය විසින් අවුස්සන ලද බෙදුම්වාදයන් ඔස්සේ 1991දී බිඳ වැටුනේ රටවල් රාශියකට බොල්කනිකරණය කරමිනි. ඒ අතරින් මොන්ටිනිග්‍රෝ රාජ්‍යයද 2006 ජුනි මස 3 වැනිදා නිදහස් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් කරන ලදී. ලක්ෂ 6ක පමණ ජනතාවක් වෙසෙන කුඩා රාජ්‍යයක් වන මොන්ටිනිග්‍රෝ ජනරජයේ ප්‍රධාන ආර්ථික කේෂ්ත්‍රය ලෙස සැලකනුයේ සංචාරක කර්මාන්තයයි. එය එරට අභ්‍යන්තර දළ ජාතික නිෂ්පාදනයෙන් 10-15%(PIB) අතර ප්‍රමාණයක් වේ. අනෙකුත් කේෂ්ත්‍රයන් වනුයේ කෘෂි භෝග, ඇළුමිනියම්, ලුණු හා දුම්කොළ අපනයනයයි.

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් යයි පවසා මොන්ටිනිග්‍රෝ ජනරජය හා සර්බියාව අතර අධිවේගී මාර්ගයක් ගොඩනැගීමට 2014 දී චීන රජයෙන් ඩොලර් මිලියන 1000ක් ගැනීමෙන් සිදුවී ඇත්තේ එරට ණය ප්‍රමාණය 106% PIB දක්වා ඉහල යාමයි. මෙම ණය ප්‍රමාණයෙන් 40%ක් අයත් වනුයේ චීනයටයි. බිංගෙවල් 16ක් හා පාලම් 20 කින් සමන්විත වන මෙම අධිවේගී මාර්ගය ගොඩනැගීමේදී කිලෝමීටරයක් වෙනුවෙන් වැයවන මුදල ඩොලර් මිලියන 18ක් ලෙස වාර්තා වේ. කෙසේ වෙතත් මාර්ගය ගොඩනැගීම තවමත් අවසන් වී නොමැත.

කිසිදු පරිසර අධ්‍යයන වාර්තාවක් සිදු නොකර ගොඩනගමින් පවතින මෙම අධිවේගී මාර්ගය හේතුවෙන් එරට විශාලතම TARA නම් දිය ඇල්ල පවා සිඳීයාමේ තර්ජනයකට මුහුණ පා ඇති බව එරට පාර්ලිමේන්තුව විසින් සිදුකරන ලද පරිසර අධ්‍යයන වාර්තාවක සඳහන් වේ. පැවති රජය විසින් ගන්නා ලද මෙම ණය ගෙවීමට නොහැකි වුවහොත් අධිවේගී මාර්ගය ගොඩනගන බිම් ප්‍රදේශ චීන රාජ්‍ය බැංකුව වන China Exim Bank හට සින්නවීම අනිවාර්‍ය වේ. ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය චීනයට සින්න වෙන්නේද මෙවැනි වගන්තියක් අත්සන් කරන ලද ගිවිසුමේ සඳහන් වීම නිසාවෙන් බව බටහිර මාධ්‍ය වාර්තා කර සිටි. එවැනිම වගන්තියක් මොන්ටිනිග්‍රෝ ජනරජය හා චීන බැංකුව සමග අත්සන් කරන ලද ගිවිසුමේද සඳහන් වීම නිසා මෙම ඩොලර් මිලියන 1000 ගෙවා දැමීම සඳහා එක්සත් යුරෝපයෙන් හා අන්තර් ජාතික මුල්‍ය අරමුදලෙන් ආධාර ඉල්ලා සිටි.

කොරෝනා වසංගතය නිසා එරට සංචාරක කර්මාන්තය බිඳ වැටී ඇත. ලබා ගත් ණය මුදලේ පළමුවෙනි ණය වාරිකය ගෙවිය යුත්තේ මෙම වසරේ ජූලි මාසයේදීය. “මෙම ණය වාරිකය ගෙවීමට නොහැකි වුවහොත් අපට සිදුවන්නේ ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය ලබා දුන් ආකාරයට මෙම මාර්ගයට අයත් වන ඉඩම් චීනයට ලබා දීම පමණයි. එය පසුගිය රජය විසින් අත්සන් කරන ලද ගිවිසුමේ සඳහන් වන භයානක කොන්දේසියක්. එම නිසා අපි ඉල්ලා සිටිනවා එක්සත් යුරෝපයට අපව චීන කොලනියක් වීමෙන් අනතුරෙන් ආරක්ෂා කරලීම වෙනුවෙන් වහා මැදිහත් වන ලෙස” මොන්ටිනිග්‍රෝ රජයේ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත අදහස් පළකරමින් කියා සිටියේය.

මොන්ටිනිග්‍රෝ ජනරජය එක්සත් යුරෝපයේ සාමාජික රටක් බවට පත්වීමට අයැදුම් කර ඇතත් තවමත් සාමාජික රටක් නොවන නිසා ඒ සඳහා මැදිහත් වීම සම්බන්ධයෙන් සාකච්චා සිදුවෙමින් පවතින බව යුරෝපීය කොමිසමේ Clément Beaune මේ අතර පවසා සිටියේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්