ගෝලීය අර්බුදයක වින්දිතයන් මැද, අපට පමණක් තනි වසන්තයක් බලාපොරොත්තු විය හැකිද?

ගෝලීය අර්බුදයක වින්දිතයන් මැද, අපට පමණක් තනි වසන්තයක් බලාපොරොත්තු විය හැකිද?

2026 ජූනි මාසයේ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිළ සංශෝධනය සම්බන්ධයෙන් සමාජයේ විවිධ අදහස් පළවෙමින් පවතී.

එහෙත් මේ තත්වය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ ගැටලුවක් නොව, ලෝක වෙළෙඳපොළේ සිදුවන වෙනස්කම්, භූ දේශපාලනික අර්බුද, බලශක්ති සැපයුම් දාමයේ අවිනිශ්චිතතාව සහ බොරතෙල් මිළ උච්චාවචනයන්ගේ සෘජු ප්‍රතිඵලයක් බව අප අවබෝධ කර ගැනීම ඉතා වැදගත් සාධකයකි.

තෙල් නිෂ්පාදනය කරන රටක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවා ජූනි මාසයේ ඉන්ධන මිල සැලකිය යුතු ලෙස ඉහළ දමා ඇත.

Super 98 පෙට්‍රල් 7.92%කින් සහ Special 95 පෙට්‍රල් 7.86%කින් පමණ ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ 92 පෙට්‍රල් 5.85%කින්, 95 පෙට්‍රල් 5.32%කින්, ඔටෝ ඩීසල් 3.83%කින් සහ සුපර් ඩීසල් 4.37%කින් පමණ ඉහළ ගොස් ඇත.

තෙල් නිෂ්පාදනය කරන්නාවූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සාපේක්ෂව අපේ රටේ මිළ ප්‍රතිශතාමක අගයක් ලෙස ඉහළ ගොස් ඇත්තේ ඉතා සුලු වශයෙනි.

එබැවින්, යථාර්තය නම් ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බලපෑම් තුළින් කිසිදු රටක් සම්පූර්ණයෙන්ම නිදහස් නොවන බව පෙන්වා දීමට කැමැත්තෙමි.

මෙවැනි අර්බුදකාරී තත්වයක් තුළ ලෝකයේ ඉහළ ආර්ථික ශක්‍යතාවයක් ඇති රටවල් පවා වින්දිතයින් වී ඇති මොහොතක, අපට පමණක් තනි වසන්තයක් බලාපොරොත්තු විය නොහැක.

ලෝකයම අභියෝගයකට මුහුණ දෙන විට ශ්‍රී ලංකාව එයින් සම්පූර්ණයෙන්ම මිදී සිටිනු ඇතැයි අපේක්ෂා කිරීම යථාර්ථයක් නොවන බව අප අවබෝධ කරගත යුතුව ඇත.

ගෝලීය අර්බුදයක මධ්‍යයේ සිටින විට කළ යුත්තේ තත්ත්වය හොඳින් අවබෝධ කර ගනිමින්, කෙටිකාලීන අපහසුතා ඉවසමින්, දිගුකාලීන විසඳුම් වෙනුවෙන් කැපවීමයි.

එම න්‍යායික භාවිතාවන් තුළින් අද ලෝකයේ බොහෝ රටවල් විසඳුම් සොයමින් සිටී.

ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් පිරිපහදු කළ ඉන්ධන ආනයනය කරනු ලබන්නේ සිංගප්පූරුවෙනි.

දේශීය වෙළෙඳපොළේ මිල තීරණය වීමේදී පදනම් කරගන්නා විද්‍යාත්මක සූත්‍රය සහ ක්‍රමවේදය ජනතාව නිසි ලෙස අවබෝධ කරගත යුතුය.

තෙල් ආනයන මිළ ගණනය කරනු ලබන්නේ පහත සඳහන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුවය.

S&P Global Platts යනු ලෝකයේ බලශක්ති, රසායනික ද්‍රව්‍ය, ලෝහ සහ කෘෂිකාර්මික නිෂ්පාදන වැනි භාණ්ඩ වෙළඳපොළ සඳහා තොරතුරු, මිල දර්ශක සහ විශ්ලේෂණ සපයන ලොව ප්‍රමුඛතම සහ ස්වාධීනතම ආයතනයකි.

ලෝකයේ විවිධ රටවල් සහ සමාගම් තෙල් මිලදී ගැනීමේදී හෝ විකිණීමේදී මිළ තීරණය කිරීමට පදනම් කරගන්නේ මොවුන් ප්‍රකාශයට පත් කරන මිල දර්ශකයට අනුකූලවය.

අප රටට සිංගප්පූරුවෙන් හෝ වෙනත් රටකින් තෙල් මිලදී ගැනීමේදී මිල සූත්‍ර සකස් කරනුයේ “Platts Price” (ප්ලැට්ස් මිළ) පදනම් කරගෙනය.

අප රටේ ඉන්ධන මිල සූත්‍රය සඳහා ද මෙම අගයන් සෘජුවම බලපායි.

S&P Global Platts සමාගම විසින් ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත පදනම්ව දෛනිකව තෙල් මිළ තීරණය කරනු ඇත.

එක් නැවක් සඳහා සාමාන්‍ය අගය සළකා බැලීමේදී අදාළ ඉන්ධන තොගය ලංකාවට ගොඩබාන දිනයට පෙර දින 5 සහ පසු දින 5 ඇතුළත වාර්තා වූ Platts අගයන්හි මධ්‍යන්‍ය සාමාන්‍යය අගය මත මිළ පදන්නම් වේ.

තොග ඇණවුම් සඳහා ගොඩබාන දිනය අයත් වන සමස්ත මාසයක කාලය සඳහා පවතින ජාත්‍යන්තර Platts අගයන්හි සාමාන්‍යය අගය මත මිල පදනම් වේ.

මෙයට අමතරව, ජාත්‍යන්තර නැව් ගාස්තු, රක්ෂණ වියදම් සහ අදාළ සැපයුම්කාර වෙළෙන්දාගේ ලාභය මත අප රටේ තෙල් මිල තීරණය වේ.

එබැවින්, ගෝලීය බොර තෙල් බැරලයක මිල මත පමණක් පදනම්ව අනවබෝධයෙන් අප රට තුළ තෙල් මිල පිළිබඳව මත පල කිරීම හාස්‍යයකි !

මෙම අර්බුද වකවානුව තුළ පුරවැසියන් ලෙස අපට සමාජ වගකීමක් ද තිබේ.

ඉන්ධන යනු ලෝකයේ බොහෝ රටවල් ක්ෂණිකව නිශ්ක්‍රීය කළ හැකි ප්‍රභල මෙවලමකි.

එය අනවශ්‍ය ලෙස අපතේ යැවීම රටේ විදේශ විනිමය සංචිතවලටත්, ජාතික ආර්ථිකයටත් දැඩි බලපෑමක් කළ හැක.

අනවශ්‍ය ගමන් අවම කිරීම, පොදු ප්‍රවාහනය භාවිතය වැඩි කිරීම සහ ඉන්ධන කාර්යක්ෂමව භාවිතා කිරීම යනු පුද්ගලික අප ලබන ප්‍රතිලාභයක් පමණක් නොව, මේ නිශ්චිත මොහොතේ අප සතු සමාජ මෙන්ම පුරවැසි වගකීමක් ද වේ.

අනාගතයේ මෙවැනි තත්වයන්ට වඩා ශක්තිමත්ව මුහුණ දීමට නම් අපේ රටේ ඉන්ධන ගබඩා කිරීමේ ධාරිතාව වැඩි කළ යුතුය. උපායමාර්ගික ඉන්ධන සංචිත ගොඩනැගිය යුතුය. ත්‍රිකුණාමල ගබඩා පහසුකම් සංවර්ධනය කළ යුතුය. පුනර්ජනනීය බලශක්තිය, සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති සහ ක්‍රමිකව නිසි නියාමනයකින් යුක්තව විදුලි ප්‍රවාහනය වැනි විකල්ප ක්ෂේත්‍ර ශක්තිමත් කළ යුතුය.

වත්මන් මාලිමා පාලනය ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණ ප්‍රතිසංස්කරණය කිරීම, ගබඩා ධාරිතාව පුළුල් කිරීම සහ බලශක්ති ආරක්ෂාව සම්බන්ධ දිගුකාලීන සැළසුම් ක්‍රියාත්මක කිරීම සත්‍ය වශයෙන්ම සාධනීය ක්‍රියාවලියකි.

එවැනි ආයෝජනවල ප්‍රතිඵල ක්ෂණිකව නොපෙනුණද, අනාගත පරපුර උදෙසා සුරක්ෂිත හෙටක් නිර්මාණය කරනු ඇත.

අපි මෙම ගෝලීය බලශක්ති අර්බුදයේ නිර්මාපකයන් නොවන්නෙමු.

නමුත් අප එහි වින්දිතයින් වීම වළක්වා ගත නොහැක. අප සතුව ඇත්තේ එයට ප්‍රතිචාර දක්වන ආකාරය සම්බන්ධයෙන් සැලසුම් සහගතව නිසි තීරණය ගැනීම පමණි.

ඉතිහාසයේ වැරදි නැවත නොකිරීමටත්, වර්තමානයේ ගන්නා තීන්ඳු තීරණ ඔස්සේ අනාගතයේ ශක්තිමත් රටක් ගොඩනැගීමටත් අවශ්‍ය වන්නේ කෝපය, වෛරය හෝ අර්බුද තුළ ජීවත් වෙමින් දියත් කරන විපක්ෂයේ දේශපාලන කුමන්ත්‍රණ නොව නිසි අවබෝධයයි.

අසත්‍ය ප්‍රකාශ සහ අභූත චෝදනා නොව වගකීම් සහගත භාවයි.

එය විපක්ෂයේ බලවේග නොපමාව අවබෝධ කරගත යුතුව ඇත.

අපගේ දරුවන්ට අනාගත පරපුරට අප උරුම කර දිය යුත්තේ අප ජීවත් වන රටට වඩා විශාල ආර්ථිකයක් පමණක් සහිත රටක් නොව, ඔවුන්ට උරුම විය යුත්තේ උසස් මානව ධර්මතා, ගැඹුරු ආධ්‍යාත්මික වටිනාකම්, සමාජ වගකීමෙන් පිරිපුන් පුරවැසි සංස්කෘතියක්, ස්වභාවධර්මයට ගරු කරන ජීවන රටාවක් සහ අනාගතය ගැන විශ්වාසයෙන් සිහින දැකිය හැකි එම සිහිනය යථාර්ථයක් වූ රටකි.

සැබෑ සංවර්ධනය යනු ගොඩනැගිලි, මාර්ග හෝ ධනය නොව, ඊළඟ පරපුරට භාරදෙන යහපත් සමාජමය හර පද්ධති සමූහයක එකතුවකි.

ඒ නිසා අද අප ගන්නා තීරණ, අප කරන්නා වූ කැපකිරීම් සහ ඉටු කරන වගකීම් හෙට දවසේ ශ්‍රී ලංකාවේ ස්වභාවය සහ අනාගතය තීරණය කරනු ඇත.

එබැවින් අද අපගේ වගකීම වන්නේ අනාගත පරපුරට වැඩි ධනයක් පමණක් නොව, වැඩි සදාචාරයක්, වැඩි වගකීමක්, වැඩි මානුෂිකත්වයක් සහ වැඩි බලාපොරොත්තුවක් උරුම කර දීමයි.

ඒ උරුමය ගොඩනැගෙන්නේ ඉවසීමෙන්, කැපවීමෙන් සහ නිවැරදි දේශපාලන තීරණ මත මිස අන් කිසිඳු සාධකයක් තුළින් නොවනු ඇත.

එය සැබවින්ම දේශපාලණික ක්‍රියාවලියකි.

මන්ද මේ සියලු අර්බුද නිර්මාණය කළේ අපේ රටේ අතීත පාලකයින් ඔවුන්ගේ අශිෂ්ටත්වයේ දේශපාලන භාවිතාවන් තුළින් බැවිනි.

ණය බරින් වැටුණු රටක් නොව, තම අභියෝග ජයගත්, තම පාඩම් උකහා ගත්, තම සම්පත් වගකීමෙන් භාවිත කළ, අනාගතය ගැන විශ්වාසයෙන් බලන ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම අපගේ ඉලක්කය වනු ඇත.

ඒ වෙනුවෙන් අද රට අපෙන් ඉල්ලා සිටින්නේ අසාධාරණ කැපකිරීමක් නොව, රටක් ලෙස නැගී සිටීම සඳහා අවශ්‍ය සාධාරණ සහ සුභවාදී අනාගතයකට අවැසි ආයෝජනයක් පන්නයේ කැපවීමකි.

විශේෂයෙන්ම අප අමතක නොකළ යුතු කරුණක් වන්නේ ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත් වූයේ කිසිසේත්ම, ගෝලීය අර්බුදයක් නිසා නොව දශක ගණනාවක් පුරා පැවති දූෂණය, වංචාව, රාජ්‍ය සම්පත් අවභාවිතය, දේශපාලන අකාර්යක්ෂමතාව සහ වගකීම් විරහිත ආර්ථික තීරණ එම බිඳවැටීමට ප්‍රධාන හේතු මත බවය.

ජනතාවගේ ශ්‍රමයෙන් උපයාගත් මුදල් රටේ සංවර්ධනයට නොව විශාල වශයෙන් පුද්ගලික දේශපාලන ව්‍යාපෘති, පවුල්වාදය සහ දූෂිත ජාල පෝෂණය කිරීමට වැය වූ කාලයක් අප ඉතිහාසයේ පසුකර ඇත.

එවැනි තත්වයන් තුළ පවා අප පුරවැසියන් ලෙස කැපකිරීම් කළෙමු.

ඉන්ධන පෝලිම්වල සිටියෙමු. එය දරා ගත්තෙමු. ජීවිත කැප කෙළෙමු.

විදුලිය කප්පාදුවලට මුහුණ දුන්නෙමු. එය දරා ගත්තෙමු. පීඩාව විඳ දරා ගත්තෙමු.

ගෑස් පෝලිම් වල දින ගණන් සිටියෙමු. පීඩාව දරා ගත්තෙමු.

එම පීඩාවන්ට හේතු වූයේ අපගේ කරුමය නොව, අප රට මත බලහත්කාරයෙන් පැටවූ වැරදි දේශපාලන තීරණ බව අදට සාපේක්ෂව ඉතිහාසය විසින් ඔප්පු කර තිබේ.

අද ඉන්ධන හිඟයක් නැත, වරු ගණන් පෝලිම් නැත. අද ඉන්ධන පෝලිම් වල ජීවිත කැප කරන්නේද නැත. අද විදුලි කප්පාදුවක් නැත. අපට පීඩාවක් නැත. අද ගෑස් හිඟයක් නැත. ගෑස් පුපුරන්නේද නැත.

අපට අවස්ථාව ලැබුනු පළමු මොහොතේදීම ක්‍රියාත්මක වෙමින්, එම අතීත පාඩම්වලින් ඉගෙන ගනිමින් වෙනස් මාර්ගයක් තෝරා ගැනීමට ජනතාව තීරණය කළහ.

ජනතාවට වගකියන, ප්‍රතිසංස්කරණ හරහා රට ගොඩනැගීමට උත්සාහ කරන, දූෂණය සහ වංචාවට ඉඩ නොදෙන පාලන සංස්කෘතියක් ගොඩනැගීම සඳහා ජනතාව සිය ඡන්දයෙන් අවස්ථාවක් වත්මන් පාලකයින් හට ලබා දුන්හ.

අද අප ඉදිරියේ මාර්ග දෙකක් තිබේ.

පළමු මාර්ගය වන්නේ අතීතයේ පුරුදු දේශපාලනය වෙත නැවත හැරී යාමයි. දූෂණයට, වංචාවට, හොරකමට සහ රාජ්‍ය සම්පත් කොල්ලකෑමට නැවතත් ඉඩ ලබා දී, එහි ප්‍රතිවිපාක ලෙස නැවතත් ආර්ථික කඩා වැටීම්, ණය බර සහ ජීවන අර්බුදවලට මුහුණ දීමයි.

නිසැකවම එහි අග්‍රඵලය වනුයේ අපට සියලු පීඩාවෙන් නැවත අපගේ කරුමයේ ගිණුමට බැර කරමින් පීඩිතයින් ලෙස ජීවත් විය හැක.

දෙවන මාර්ගය වන්නේ කෙටි කාලීන අපහසුතා තිබුණද, ප්‍රතිසංස්කරණ මාර්ගයේ ඉවසීමෙන් ඉදිරියට යාමයි.

අභියෝග, බාධක සහ දුෂ්කරතා මැද වුවද, දූෂණයෙන් තොර, ආර්ථික වශයෙන් ශක්තිමත්, නීතියට ගරු කරන, ජනතාවට සාධාරණ අවස්ථා තුළින් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපට උරුම වන නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා සහය දීමයි.

පුරවැසියන් ලෙස අපට මෙම ආණ්ඩුව ආරක්ෂා කර ගත යුතු බව අපට ඉතිහාසය පවා බලකරමින් සිටින්නේ එවැනි ඉතිහාසයකට නැවත අප ගමන් කිරීමට තරම් අවාසනාවන්තයෝ නොවන නිසාවෙනි !

දශක ගණනාවක් අශිෂ්ටත්වය රජ කළ දේශයක ශිෂ්ටත්වය ක්ෂණිකව ස්ථාපිත කළ නොහැක. එය දීර්ඝ සමාජීය, ආර්ථික, දේශපාලනික ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.

අපගේ දරුවන්ට උරුම කර දිය යුත්තේ හුදෙක් භෞතික සම්පත් පමණක් නොව, උසස් මානව ධර්මතා සහ ආධ්‍යාත්මික වටිනාකම්වලින් පිරිපුන් ශිෂ්ට සම්පන්න රටකි.

අර්බුද මැද දේශපාලන කුමන්ත්‍රණ කරන විපක්ෂයේ උත්සාහයන් පරාජය කර, නිවැරදි අවබෝධයෙන් සහ ඉවසීමෙන් යුතුව රට ගොඩනැගීමේ මේ ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යය රැක ගැනීම අප සැමගේ පරම යුතුකමකි ! පුරවැසි වගකීමකි !

සටහන : එතෙර අපි සංවිධානය – අබුඩාබි

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්