ගෝටා සමයේ සීනි බදු වංචාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජනපති අනුර ශ්‍රේෂ්ඨාධිකරණයට

ගෝටා සමයේ සීනි බදු වංචාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජනපති අනුර ශ්‍රේෂ්ඨාධිකරණයට

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරීමෙන් රජයට රුපියල් කෝටි 1,590ක මුදලක් පාඩු කිරීමේ නඩුව සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති අනුර දිසානායකට සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමට ඊයේ (30) නියෝග කර තිබේ.

මුදල් ඇමති වශයෙන් ජනාධිපති අනුර දිසානායකට එලෙස කරුණු දක්වන ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කරන ලද්දේ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමය වර්ධන සහ කුමුදුනි වික්‍රමසිංහ යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවනු ලැබීය.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සහික එවකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ගොනුකර තිබූ මෙම පෙත්සමෙන් වග උත්තරකරුවන් වශයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති, පිරමීඩ විල්මා පෞද්ගලික සමාගම, එහි අධ්‍යක්ෂ සජන් මඩුසුන්, පාරිභෝගීත සේවා අධිකාරියේ සභාපති සහ නීතිපති නම් කර ඇති අතර පෙත්සම්කාර පාර්ශවය කළ ඉල්ලීමක් පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය වත්මන් මුදල් ඇමති සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කිරීමටද අවසර දී ඇත.

දේශීය සීනි නිෂ්පාදනය දිරිපත් කිරීම සඳහා ආනයනික සීනි සඳහා රුපියල් 50ක බද්දක් පැනවීමට 2020 වසරේදී ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ අතර බද්ද එකවරම ශත විසිපහක් දක්වා අඩු කෙරුණු බවත්, රුපියල් 50ක්ව තිබූ බද්ද ශත 25 දක්වා අඩු කිරීමේ දී ලැබෙන ලාභය ජනතාවට ලැබිය හැකි පරිදි ඒකාබද්ධ අරමුදලට බැර කිරීමට නියමිතව ඇති බවත් සඳහන් කරන පෙත්සම 2020 නොවැම්බර් 10 වැනිදා පාරිභෝගික කටයුතු අධිකාරිය සීනි සඳහා උපරිම මිලක් නියම කළ බවද සඳහන් කර ඇත.

වග උත්තරකාර පිරමීඩ් විල්මා පෞද්ගලික සමාගම, බදු මුදල් අඩු කළ අවස්ථාවේ දී මිලදී ගත් සීනි ලැබෙන ලාභය ඒකා බද්ධ අරමුදලට බැර කළ යුතු වුවත් අදාළ ලාභය ඒකාබද්ධ අරමුදලට බැර නොකර එම සමාගමටම ලැබීමෙන් රජයට රුපියල් එක්සදහ් පනිසිය අනූ පන්කෝටි පහලොස්ලක්ෂ අනූ අටදහස් හත්සිය විසිහතක (රු. 15,951,598,724) පාඩුවක් වී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු රුපියල් 50ක්ව තිබූ බදු මුදල ශත 25ක් දක්වා අඩු කිරීමේ දී ලැබිය යුතු සහනය ජනතාවට නොලැබීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි ප්‍රකාශ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටී.

ඒ වෙනුවෙන් රුපියල් මිලියන පන්සියයක වන්දියක් සීනි ආනයනය කළ පිරමීඩ විල්මා පෞද්ගලික සමාගම ඇතුළු වග උත්තරකරුවන්ගෙන් අයකර ගැනීමට නියම කරන්නැයිද පෙත්සම්කරු ඉල්ලා සිටී.

පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී පෙත්සම්කාර වත්මන් ඇමති සුනිල් හඳුන්නෙත්ති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එම්.ඒ සුමන්තිරන් කරුණු දක්වමින් පෙත්සම සම්බන්ධයෙන් වග උත්තරකරුවන් වශයෙන් නම් කර ඇති පුද්ගලයන්ගේ තනතුරු වෙනස් වී ඇති බැවින් වර්තමානයේ එම තනතුරු දරන පුද්ගලයන් ඇතුළත් කර පෙත්සම් සංශෝධනය කිරීමට අවසර ලබාදෙන ලෙසත් ඔවුන්ට නොතිසි නිකුත් කරන ලෙසත් ඉල්ලා ඇත.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ හසිනි ඕපාත කරුණු දක්වමින් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණයේ දී මෙම වංචාව සිදු වී ඇති බවට කරුණු අනාවරණය නොවූ හෙයින් මෙම පෙත්සමට පදනමක් නැතැයි පෙන්වා දී ඇත.

කරුණු සැලකිල්ලට ගනිමින් පෙත්සම සංශෝධනය කිරීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකරුවන්ට ජනවාරි 19 වැනිදා කරුණු දක්වන නියෝග කරමින් නොතීසි නිකුත් කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්