වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී සිදු කර ඇති මූල්ය වංචා සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකරුවන් 07 දෙනෙකු, ලංකා දණ්ඩ නීති සංග්රහය සහ පොදු දේපල පනත ප්රකාරව වරදක් සිදුකර ඇති බවට නීතිනිපතිවරයා උපදෙස් දී ඇතැයි පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්රාත් බුද්ධික ශ්රී රාගල මහතාට ඊයේ (25) දැනුම් දී තිබේ.
මෙම සිද්ධියට අදාළ නඩුව ඊයේ යළි කැඳවූ අවස්ථාවේදී මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර පොලිස් අධිකාරීවරයා සහ පොලිස් පරීක්ෂකවරයා වැඩිදුර බී වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් මෙම කරුණු සඳහන් කර ඇත.
මෙම නඩුවට අදාළව තමන් අත්ඩංගුවට ගැනීම වලක්වාලමින් පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් විසින් අභියාචනාධිකරනය හමුවේ නඩුවක් ගොනු කර ඇති බැවින් එහි නියෝගය ලැබිමෙන් පසු ඉදිරි පියවර ගන්නා බවද පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්රාත්වරයා හමුවේ ප්රකාශ කර තිබේ.
ඒ අනුව අභියාචනාධිකරනයේ තීන්දුව ලැබීමෙන් පසු නඩුව කැඳවීම සඳහා මාර්තු 22දා තෙක් නඩුව කල්තැබීමට මහේස්ත්රාත් අධිකරණය තීරනය කර ඇත.
ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය සහ කෞතුකාගාරය ඉදිකිරීමේ ව්යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන නොමැති අතර වීරකැටිය ප්රාදේශීය සභාවෙන්ද අවසර ලබාගෙන නොමැති බවට එම ප්රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරී අන්තෝනිගේ ගුණතිලක නැමැත්තාගේ ප්රකාශය අනුව කරුණු අනාවරණය වන බව ඉකුත් නඩු දිනයේදී මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
එසේම, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්ය සාමාන්යාධිකාරීවරයාගේ ප්රකාශය අනුව මෙම ව්යාපෘතිය සඳහා කැබිනට් අනුමැතියක්ද ලබාගෙන නොමැති බවත් එසේම මෙම ව්යාපෘතිය සම්බන්ධයෙන් ගෙවීම් සිදුකිරීමේදී මූල්ය රෙගුලාසි උල්ලංඝනය කරමින් ගෙවීම් කටයුතු සිදුකර ඇති බවටද කරුණු අනාවරණය වන බව මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණය දැනුවත් කර ඇත.
තවද, මෙම ව්යාපෘතිය ආරම්භක අවස්ථාවේදී කිසිදු සේවා ලාභියෙකු පැහැදිලිව ඉදිරිපත් නොවීම හේතුවෙන් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නීති අංශයෙන් නිසි අධීක්ෂණයක් සිදු කර ඉඩම් ගොඩකිරීමේ හා මංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිති අංශයෙන් නිසි අධීක්ෂණයක් සිදුකර නොමැති බවත් එම ව්යාපෘතිය ක්රියාත්මක කර ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ ඉල්ලීමක් නොකළ බැවින් අධීක්ෂණයක් නොකළ බවට එම ආයතනයේ නීති නිලධාරීන්ගෙන් කරන ලද ප්රශ්න කිරීම්වලදී අනාවරණය වූ බවත් පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබේ.
එසේ ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ එවකට සභාපති හර්ෂාන් ද සිල්වා මහතාගේ උපදෙස් අනුව (2013/13) එම ව්යාපෘතිය අදාළ ප්රමාණ පත්රය සකස් කළ බවත් එසේ සකස් කිරීමේදී භූමියේ පරීක්ෂාවක් සිදු නොකළ බවත් එමෙන්ම නාවික හමුදාව ශ්රම දායකත්වය ලබාදෙන බවට සභාපතිවරයා පැවසීම හේතුවෙන් එම ප්රමාණ පත්රයට ශ්රම දායකත්වයද අතුළත් කර නොමැති බවත් සඳහන් වෙයි.
මෙම ගොඩනැගිලි සැලැස්ම වර්ග අඩි 1000ක් පමණ වන බවත් මෙම ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම් ව්යාපෘතිය වැඩබිම් පරීක්ෂා කිරීම සඳහා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සභාපති හර්ෂාන් ද සිල්වා හා ඉංජිනේරු ඒෂණ රණවක මහත්වරුන් මෙන්ම හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාද පැමිණ අැති බවට කරුණු අනාවරණය වන බවත් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දනුම්දී තිබේ.
එමෙන්ම, වර්ෂ 2015 අගෝස්තු මස 04 වැනි දින රාජපක්ෂ අනුස්මරණ අධ්යාපනික. සංස්කෘතික හා සමාජ සේවා පදනමේ ලේකම් විසින් මෙම ව්යාපෘතියට වැය වූ මුදල් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර ඇති බවටද කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
මෙම විමර්ශනයට අදාළව එවකට නාවික හමුදා නිලධාරීන්ගේ ප්රකාශ සටහන් කරමින්, නාවික හමුදාව විසින් ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමට අදාළව පවත්වාගෙන ගිය ගොනුව සිය භාරයට ගෙන විමර්ශන කටයුතු සිදුකර ඇතැයි පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ. එසේම, මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා නාවික හමුදාවේ ශ්රම දායකත්වය ලබාදීම එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදුන් වාචික උපදෙස් හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ එවකට හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා මහතා විසින් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව සිදුකර ඇති බවත් කරුණු අනාවරණය වී ඇතැයි ද මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිය බී වාර්තාව මගින් අධිකරණය දැනුවත් කර තිබේ.
ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් පරිබාහිර ආයතනයක ව්යාපෘතියක් සිදුකිරීමේදී දෙපාර්ශවය අතර මූලික සාකච්ඡාවක් පවත්වා ඉන් පසුව එකඟතාව මත ගිවිසුමක් සකස් කර ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙනුවෙන් එහි සාමාන්යාධිකාරීවරයාද සේවාලාභියා වෙනුවෙන් එම ආයතනයේ වගකිවයුතු නිලධාරියෙකු අත්සන් කළ යුතු බව මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කර ඇත.
එසේම, මූලික වශයෙන් අත්තිකාරම් මුදලක් ලබාගැනීමෙන් අනතුරුව ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඉතිරි මුදල් කොටස් වශයෙන් අයකර ගන්නා බවට එම සංස්ථාවෙන් කරුණු අනාවරණය වුවත් මෙම ව්යාපෘතියේ දී එවැනි සාකච්ඡාවක්, ලිපි හුවමාරුවක් හෝ ගිවිසුමකට එළැඹීමක් සිදුකර නොමැති බවට කරුණු අනාවරණය වන බවද මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිය බී වාර්තාව මගින් සඳහන් කර තිබේ.










