ගැහැනිය විකුණන සමාජය වෙනුවට ඇය අගයන දවසක් වෙනුවෙන් අරගල කරමු!

ගැහැනිය විකුණන සමාජය වෙනුවට ඇය අගයන දවසක් වෙනුවෙන් අරගල කරමු!

ගැහැනිය විකුණන සමාජය වෙනුවට ඇය අගයන ඇයට වටිනාකමක් ලැබෙන දවසක් උදාකළ ගත යුතුව ඇතැයි අදට (මාර්තු 08) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අයිතීන් උදේසා කාන්තාවෝ සංවිධානය සඳහන් කරයි.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ.

“ස්ත්‍රීය යනු අනාගත ලෝකය නිර්මාණය කරන්නියකි. ඇය ලොවට මාතෘත්වයේ පණිවිඩය මෙන්ම රටක නිෂ්පාදනයේ ශ්‍රමික දායකත්වය ද සමාජමය වගකීම් දරමින් පුරවැසි යුතුකම ද ඉටු කිරීමට හැකියාවක් ඇති තැනැත්තියකි. එමෙන්ම හැම දිනක්ම ඇයගේ සුසුමින්, කඳුලින් හා ධෛර්යයෙන් මුවහත් වී ඇත. මාර්තු 08 කාන්තා දිනය ලෙස සනිටුහන් වීමට පාදක වී ඇත්තේ ද එවන් අරගල තුළින් ගොඩනැඟුණු ධෛර්යය හා ශක්තිය සමඟින් අනාගත අයිතීන් සඳහා සටන් කළ ස්ත්‍රීන් ගේ ලේ, කඳුළු ,හා ධෛර්යය යන්නය.

1908 මාර්තු 8 වැනි දා නිව්යෝක් නුවර ඉදිකටු කර්මාන්තශාලාවක සේවිකාවන් පිරිසක් තමාගේ සේවය කරන පැය ගණන පැය 16 සිට 12 දක්වා අඩු කරන ලෙස ඉල්ලමින් විශාල පෙලපාලි නගරයේ පුරා සංවිධානය කළෝය. පාලකයින්ගේ හා පොලීසියේ මැර ප්‍රහාරය හමුවේ නොනැවතී විසිදාහ නැගිටීමක් ලෙස දැවැන්ත පා ගමනක් දක්වාද එම අරගලය ඔවුන් විසින් ව්‍යාප්ත කොල්ලෝය. මර්දනයේ ඉදිරියේ නොනැවතී තම අයිතීන් වෙනුවෙන් සටන් කළ ඔවුන්ගේ අරගලය ලෝකයේ සියලුම සටන් කරන ස්ත්‍රීන්ගේ අරගලයට ඉමහත් පිටුවහලක් විය. ලෝකෙ පුරාම ස්ත්‍රියට සිදුවන ලිංගික හිංසනයට හා සමාජ පීඩනයට එරෙහිව ස්ත්‍රිය නැගී සිටිය යුතු බවට මතයක් නිර්මාණය කිරීමට ඔවුන්ට හැකිවිය.

1910 සමාජවාදී නායිකාවක් වූ ක්ලාරා සෙට්කින් විසින් සමාජවාදී කාන්තාවන්ගෙ දෙවන ජාත්‍යන්තරයට මාර්තු 8 කාන්තා දිනය ලෙසට නම් කරන මෙන් යෝජනාවක් කිරීමට හේතුව වී ඇත්තේ ද මෙම අරගලයේ ජීව ගුණයන්ය.

පැය අටේ වැඩ දිනය, සම වැටුප් ලැබීමේ අයිතිය, ඡන්දය දීමේ අයිතිය, අධ්‍යාපන අයිතිය, ප්‍රසූත නිවාඩු දිනයන් හා ගැහැනියට නිදහසේ ජීවත්වීමේ අයිතිය වැනි අයිතීන් ලබාගෙන ඇත්තේ ස්ත්‍රියගේ දහස් ගණන් අරගලයන් හා කැපකිරීම් තුලින් ය.

එවන් කැපකිරීම් රාශියක් හා අරගලයන් මැදින් දිනාගත් ජාත්‍යන්තර කාන්තා දිනය වෙළඳ ආර්ථික ලෝකය තුළ භාණ්ඩ විකුණන ආකාරයට සේල් දමා ඇත.

වර්ථමානයේ අප රට තුන තුළ ද ගැහැණිය ඇද දමා ඇත්තේ මහපාරට ය. නිවසේ බර කඳක් උසුලන ඇය ආර්ථිකයේ ඩොලර් ගෙනෙන මැෂිම බවටද පත්වී ඇත. එහෙත් දිනෙන් දෙන කඩාවැටෙන අසාර්ථක ලිබරල් ධනවාදී ආර්ථික රටාව තුළ ගැහැණියගේ පීඩනයත් , හිංසනයක් , වැඩි වී ඇඟේ වටිනාකමක් වල් වැදී ඇත.

කුසගින්නට බත් ටස ඉල්ලමින් අඬන දරුවන් ඉදිරියේ මුසපත් වන මව්වරුන් ට අත්වී ඇති ඉරණම නම් විදේශ රටකට වහල් සේවයකට හෝ එසේ නොමැති නම් ජීවිතයෙන් පලා යාමටත් ය.

ජනතා මුදල් සොරා කමින් රට අගාධයෙන් කරා ගෙන ගෙන ගිය පාලකයන්ට කාන්තාවන්ට ලබා දීමට හැකි වී ඇත්තේ විදුලිය නැති, ගෑස් නැති ,බෙහෙත් නැති ,ආහාර නැති අඳුර ලෝකයක් ය. විසිවෙනි සියවස ඉදිරියේ ඇයගේ අනාගතය ලිප් ගල් තුනකට සීමා කර ඇත.

රට සාගතයට ඇද දමමින් කාන්තාව මත ආර්ථික පීඩනය වැඩිකරමින් කාන්තාව පෝලිම් තුනට ගාල් කරන විසඳුම් නැති ආර්ථික ක්‍රමවේදයට එරෙහිව අරගල කිරීමට රටේ සියලුම කාන්තාවන්ට සිදුවී ඇත. එහෙත් ඇතැම් කාන්තා සංවිධාන හා දේශපාලනඥයින් විසින් ඇත්ත ප්‍රශ්න වලින් පීඩාවට පත්වන ස්ත්‍රියට විසඳුම් සඳහා වැඩපිළිවෙළක් වෙනුවට රැවටීමේ සළුපිළි ඇයට දැවටීම ට උත්සාහ කරමින් සිටිති.

අවුරුදු 74ක අසාර්ථක පාලකයින්ට හැකියාව ඇත්තේ තවත් සොරකම් කිරීමත් ඔවුන්ගේ ලෝකයේ ගොඩනැගීමත් පමණකි. එහෙත් පවූලේ වැඩි වගකීමක් දරන ස්ත්‍රියට යහපත් රටක් සඳහා එහි වගකීම ද ගත යුතුව ඇත. පීඩාව හා හිංසනය මෙන්ම ගැහැනිය විකුණන සමාජය වෙනුවට ඇය අගයන ඇයට වටිනාකමක් ලැබෙන දවසක් උදාකළ ගත යුත්තේ ඇයගේ අරගලයන් හා කැපවීම තුළින්මය. මුළු රටම වෙලාගෙන ඇති සමාජ ආර්ථික දේශපාලන අගාධයෙන් රට මුදවා ගැනීමට ඔබගේ නිවැරදි දැක්ම මැදිහත්වීම හා නිරන්තර අරගලය අවැසි මොහොතක ධෛර්යයෙන් ඒ සඳහා එක්වන ලෙසට අපි ඔබට ආරාධනා කරන්නේ මූ.

අයිතීන් උදෙසා කාන්තාවෝ”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්