කොවිඩ් වැලදුන යහපත් පුරවැසියාගේ කතාව…

කොවිඩ් වැලදුන යහපත් පුරවැසියාගේ කතාව…

කොරෝනා සම්බන්ධයෙන් ආන්ඩුවේ strategy එක අවුරුදු කෑමෙන් පස්සේ එක පාරට change වුනා. අවුරුද්දට ඉස්සෙල්ලා PCR test කරන එකත් නවත්තල දාපු අන්ඩුව අවුරුද්දෙන් පස්සේ එකපාරටම නින්දෙන් ඇහැරිලා වගේ කියවන්න ගත්තා ජනතාවගේ නොසැලකිලිමත්භාවය නිසා කොරෝනා දරුණු අවස්ථාවකට මුහුණ දෙන්න වෙනවා කියලා.
මේ situation එක අපි ටිකක් පරිස්සමින් ලෙහාගන්න එක තමයි most suitable විදිහ.
මොකද, පහත දක්වා ඇති “කොරෝනා වැලඳුන යහපත් පුරවැසියාගේ කතාව” කියවනකොට දැනෙන දේ තමයි පශ්චාත් අවුරුදු කොරෝනා වර්ධනයේ වගඋත්තරකරු ජනතාවද? එහෙම නැත්නම් ආන්ඩුවද? කියන ප්‍රශ්නය..
පාස්කු ප්‍රහාරයත් political project එකක් කියල ආගමික නායකයනුත් කියන වෙලාවේ කොරෝනාවත් political game එකකට use කරන්නද දන්නැ යන්නේ.
කොහොම වුනත් කියවන්න “කොරෝනා වැලඳුන යහපත් පුරවැසියාගේ කතාව..”
දෙව්මිත් රාජසිංහට ලැබුන ඊමේල් එකකින්..

පසුගිය අප්‍රේල් 08 – 09 දිනවලදී ඇගපත වේදනාව සමග උගුරේ වේදනාව ඇතිවී උණ ගතියක් දැනෙන්නට විය. ඒ වනවිටත් බිරිද ඇගට අමාරු යැයි පැවසූ බැවින් වහාම ක්‍රියාත්මක වී බිරිද දරුවා සමග වෙන්වී නිරෝධායනය වීම ආරම්භ කලෙමි. දින දෙකක් ගතවූ පසුත් රෝග ලක්ෂණ පැවතීම හා එම රෝග ලක්ෂණ කොරෝනා රෝග ලක්ෂණ වලට සමාන වීම නිසා වහාම ප්‍රදේශයේ පීඑච්අයි මහතා දැනුවත් කලෙමි. අළුත් අවුරුද්ද හේතුවෙන් 15වනදා දක්වා PCR පරීක්ෂණයක් කිරීම නවතා ඇති බැවින් PCR පරීක්ෂණයක් කරගැනීමට අවශ්‍යනම් 15 වනදා කතා කරන ලෙස පැවසුවා.

වහාම ක්‍රියාත්මක වී මාගේ සියළු රාජකාරී කටයුතු සදහා නිවසින් පිටවීම නවතා දැමුවා. බිරිද සේවය කරන ආයතනයද දැනුවත් කොට නිවාඩු ලබා ගන්නා ලෙස ඇයට දැනුම් දුන්නා. අවුරුද්දට බිරිදගේ නිවසට යෑමට සූදානම් කර තිබූ අතර එම ගමන නවතා දැමුවා. අවුරුද්දට මිත්‍රයන් කිහිප දෙනෙකුගේ නිවෙස් වෙත යෑමට සූදානම් කර තිබූ ගමන්ද අවලංගු කර දැමුවා. ඒ වනවිටත් අළුත් අවුරුදු හේතුවෙන් නිවසට අවශ්‍ය පමණ ආහාර ද්‍රව්‍ය මිලදීගෙන තිබූ නිසා වෙළඳසැලට හෝ නොගොස් ප්‍රවේසම් වීමේ හැකියාව ලැබුනා. නිවස අසළ මිත්‍රයෙකුට කතා කොට දරුවාගේ ආහාර හා කිරිපිටි අතිරික්ත ප්‍රමාණයක් ගෙන්වාගෙන නිවසින් එළියට හෝ නොගොස් අවුරුදු කාලය ගත කලා.

අප්‍රේල් 15 වනවිට අපගේ සියළු රෝග ලක්ෂණ පහව ගොස් සාමාන්‍ය තත්වයට පත්වෙමින් තිබුනා. මාස දහයක් වන දරුවාට කිසිදු ආකාරයක රෝග ලක්ෂණ මතු නොවීම අපගේ ව්‍යායාමය පහසු කළා. නිවසේ සේවිකාව ඒ වනවිටත් කොවිඩ් වැක්සීන් ලබාගෙන තිබුනා. ඇයටද කිසිදු රෝග ලක්ෂණයක් මතු උනේ නැහැ. රෝග ලක්ෂණ පහව ගොස් තිබුනද නැවත සමාජයට යාමට පෙර PCR පරීක්ෂණයක් කරගැනීම හොද බව අප දෙදෙනාගේ නිගමනය වුනා. 15 වන දින නැවත PHI මහතා අමතා PCR පරීක්ෂණයක් කරගැනීමට අවශ්‍ය බව පැවසූ පසු අප නිවසේ සිට කිලෝමීටර් 15 – 20 පමණ දුරින් පිහිටි පිට්ටනියක PCR කරන බව පවසා එහි පැමිණෙන ලෙස දන්වා සිටියා. නිවසේ සියළුදෙනා එහි යෑම සුදුසු නොවන නිසා සහ කොවිඩ් ආසාදනය වී නොමැති නම් නිකරුනේ පරීක්ෂණ හතරක් පහක් අපතේ යන නිසා එක් අයෙකු පමණක් PCR සිදු කරමු යැයි එකගතාවයකට පැමිණ නැවත රැකියාවට යෑමට අවශ්‍ය නිසා බිරිදගේ PCR පරීක්ෂණයක් සිදු කළා.

දින තුනකට පසු PHI දුරකතනයෙන් අමතා කොරෝනා පොසිටිව් බව පවසා රෝහල් ගත වීමට සූදානම් වන ලෙස බිරිදට උපදෙස් ලබා දී තිබුනා. ඒ අවස්ථාවේ මටද රෝග ලක්ෂණ තිබූ බව පැවසූ විට, “PCR පොසිටිව් අය තමයි රෝහල්ගත කරන්නේ” යැයි පවසා තිබුනා. නැවත වෛද්‍යවරයෙකුද ඇය අමතා විස්තර විමසූ විට දරුවා ගැන සහ මා ගැන විස්තර කියා තිබුනද අප පිළිබද කිසිදු සදහනක් නොමැතිව ඇයට රෝහලට යන ලෙස පවසා තිබුනා. දරුවා සමග රෝහලේ සිටීමට පහසුකම් තිබෙනවාදැයි විමසූ විට “එහෙම නම් සල්ලි දීලා හෝටලේක නිරෝදායනය වෙන්න පුළුවන්” යැයි පවසා තිබුනා. පසුදින රාත්‍රියේ 1990 ගිලන් රථයක් පැමිණ ඇය නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත රැගෙන ගියා. දරුවා රැගෙන ගොස් රෝහලේ තබා ගැනීම අපහසු නිසා දරුවා නිවසේ තබා යෑමට අප තීරණය කළා.

සියල්ල සිදු වී මේ වනවිටත් දින කිහිපයක් ගත වී ඇතත් මගේ හෝ දරුවාගේ PCR පරීක්ෂණ කිරීමට හෝ අප නිවස නිරෝධායනය කිරීමට කිසිදු ආකාරයක ක්‍රියාමාර්ගයක් මේ වන තෙක් සිදු වී නැහැ. අපි ස්වෙච්ඡාවෙන් නිවසින් පිටවීම වාරණය කරගෙන තවමත් නිවසේ රැදී සිටියි. අප ආගිය තැන් පිළිබද හෝ ඇසුරු කළ පිරිසි පිළිබද කිසිදු විමසීමක් සිදු කළේ නැහැ. අවසානයට ඇසුරු කළ කිහිප දෙනා අමතා අප විසින්ම නිරෝධායනය වන ලෙස දැනුම් දුන්නා.

සැබැවින්ම යන යන තැන නම ලිපිනය ලිවීම් QR ස්කෑන් කිරීම හෝ වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් කොවිඩ් මර්දන ක්‍රියාවලිය හා සම්බන්ධතාවයක් නොමැති බව හොදින් තහවුරු උනා. ඔවුන් මේ වනවිට සිදු කරමින් සිටින්නේ කෙසේ හෝ PCR කරගන්නා අයගෙන් පොසිටිව් අය තෝරා ඔවුන් රෝහල්වලට දමා සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම පමණයි. කොවිඩ් රෝගීන් සොයා පරීක්ෂණ කිරීම වෙනුවට වැල යන පැත්තට මැස්ස ගසමින් ජනතාවට ප්‍රවේසම් වන ලෙස මාධ්‍ය නිවේදන දැමීමෙන් කොරෝනා ව්‍යාප්තිය පාලනය කළ නොහැකි බව ඉක්මනින් අවබෝද වනු ඇත. ඒ අවබෝද වන දිනය වනවිට දැඩි සතකාර ඒකක පිරී මිනිසුන් තැන තැන මිය යන දවසක් නොවේවායි ප්‍රාර්තනා කිරීම හැර මේ අවස්ථාවේ යහපත් පුරවැසිකු ලෙස කළ හැකි වෙන යමක් නැත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්