කොරෝනා වසංගතය නිසා අමතක වූ අප්‍රිකාව !

කොරෝනා වසංගතය නිසා අමතක වූ අප්‍රිකාව !

මොරොක්කෝවේ policy centre for new south නමැති රාජ්‍ය නොවන සංවිධානයක් විසින් නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවකට අනුව සමස්ථ අප්‍රිකානු රටවල ආර්ථිකය කොරෝනා වසංගතය හේතුවෙන් ඔවුන් යටත් විජිත භාවයෙන් නිදහස ලැබීමෙන් පසුව ප්‍රථම වරට මුහුණ දෙන දැවැන්ත ආර්ථික අවපාතයකට ගමන් කරමින් සිටින බව පවසයි. එහි ප්‍රථිපලයක් ලෙස විශාල ලෙස මහාද්වීපයේ තරුණ ප්‍රජාව හා විවිධ කේෂ්ත්‍ර වලට අයත් වෘත්තිකයින් හා බුද්ධිමතුන් රැකියාවල් හා අනෙකුත් වරප්‍රසාද සොයා යුරෝපයට හා වෙනත් රටවලට සංක්‍රමණය වීම ඉදිරි කාලයේදී අතිශයින් ඉහලයාමට ඉඩ ඇතැයි එම වාර්තාව පවසයි.

අප්‍රිකානු ජනතාව කොරෝනා වසංගතයෙන් යුරෝපයට හා අනෙකුත් මහද්වීප වල ජනතාව විසින් මුහුණ දී තිබෙන තත්වය හා සලකා බලද්දී සාපේක්ෂ ලෙස ආරක්ෂා වීමට සමත් වුවද වෘත්තිකයින්ගේ පලා යාම නිසා බරපතළ සමාජ, ආර්ථික හා සෞඛ්‍යය කේෂ්ත්‍ර වල බරපතළ කඩා වැටීමක් අනාගතයේදී සිදුවිය හැකි බව ඔවුන් අනතුරු හඟවයි. අප්‍රිකානු ජනතාව කොරෝනා වසංගතයෙන් සාපේක්ෂ ලෙස මිදීමට හැකිවුයේ මහාද්වීපයේ තරුණ ජනගහණය ඉහල අගයක තිබීමත්, දේශගුණික සාධක, එසේම ලොව දරුණුම වසංගත රෝග වලට මුහුණ දී ලබා තිබුණු අත්දැකීම් හේතුවෙන් විය හැකි බව එම වාර්තාව පවසයි. නමුත් ළඟ එන ආර්ථික අර්බුදය ඉතා බරපතළ ලෙස අප්‍රිකාවට බලපෑමට ඉඩ ඇතැයි ඔවුන් අනතුරු හඟවයි.

එම අර්බුදයට මුහුණදීම සඳහා අප්‍රිකාවේ රටවල් තුළ ඇති හැකියාව විවිධ වන අතර, නිදසුනක් ලෙස සමහර රටවල ආර්ථිකය සෘජුවම යුරෝපය සමග බැඳී පැවතීමත්, ආර්ථිකව හා දේශපාලනිකව පසුගාමී රටවල ජනවාර්ගික ගැටළු, බෙදුම්වාදී ගැටුම්, ආගමික යුද්ධ ත්‍රිව වීමේ ඉඩකඩද පවතී. ආර්ථික අසමානත්වය හේතුවෙන් ඇතිවන මෙම අර්බුද නිසා සෞඛ්‍යය කේෂ්ත්‍රවල නියුතු වෛද්‍යවරුන්, හෙදියන් හා සාත්තු සේවකයින්, මේවනවිට කොරෝනා වසංගතය නිසා තවමත් පිඩා විඳින යුරෝපයේ හා අනෙකුත් රටවල දැවැන්ත ඉල්ලුම සැපිරීම සඳහා සංක්‍රමණය වනු ඇත. උදාහරණයක් ලෙස මේ වනවිට දැවැන්ත ආර්ථික හා දේශපාලන අර්බුදයක හිරවී දිනපතා එරට පොලීසිය සමග ගැටෙන ටියුනීසියාවේ මධ්‍යම පාංතික වෘත්තිකයින් විශාල වශයෙන් මෙලෙස යුරෝපයට ඇදෙන ප්‍රමාණය පසුගිය වසරේ පමණක් 60%කින් ඉහල ගොස් ඇති බවද පැවසේ.

එක්සත් යුරෝපයට සම්බන්ධ ආර්ථික සංසදයක් වන OCDE විසින් නිකුත් කර තිබෙන නවතම වාර්තාවකට අනුවද සෑම වසරකම ඩොලර් බිලියන 200ක් අප්‍රිකා මහද්වීපයේ රටවලින් දේශීය හා විදේශීය සමාගම් හිමිකරුවන්, බදු හා මුල්‍ය වංචාකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මහජන දේපල අවභාවිතා කල දුෂිතයින් විසින් හොර රහසේ කළු සල්ලි සුදු කරන රටවල් කරා රැගෙන යන බව පැවසේ. මෙම ප්‍රමාණය සමස්ථ අප්‍රිකාවේ අභ්‍යන්තර දළ ජාතික නිෂ්පාදනයෙන් 3.7%PIB ලෙස ගණන් බලා තිබේ.

ඉන් ඩොලර් බිලියන 88.6ක් සොරා ගනු ලබන්නේ ආයෝජකයින් ලෙස පැමිණි යුරෝපීය, අප්‍රිකානු හෝ වෙනත් රටවලින් පැමිණි සමාගම් හිමිකරුවන් විසිණි. එම වාර්තාවන්ට අනුව අප්‍රිකාවේ යටිතල පහසුකම් දියුණු කිරීම, ආයෝජන, සංවර්ධනය වෙනුවෙන් ලැබෙනුයේද වසරකට ඩොලර් බිලියන 48ක් පමණි. එසේම 2000-2015 දක්වා කාලය තුලදී විදේශීය හා දේශීය ප්‍රාග්ධන හිමියන් විසින් ඩොලර් බිලියන 836ක් අප්‍රිකා මහද්වීපික රටවලින් සොරා ගෙන ගොස් ඇති අතර එම වාර්තාවට අනුව 2018 වනවිට සමස්ථ අප්‍රිකාවේ බාහිර ණය ප්‍රමාණය පමණක් ඩොලර් බිලියන 770ක් ලෙසද ගණන් බලා තිබේ.

මේ වනවිට අප්‍රිකා මහාද්වීපයේ කොරෝනා වසංගතය නිසා මියගිය ප්‍රමාණය 72,300ක් ලෙස ගණන් බලා තිබේ. රෝගය වැළඳුනු ප්‍රමාණය මිලියන 3ක් වේ. මෙයින් වැඩිම පිරිසක් වාර්තා වනුයේ දකුණු අප්‍රිකාව, ඉතියෝපියාව, මොරොක්කෝව, ඊජිප්තුව, ඇල්ජීරියාව හා ටියුනීසියාව යන රටවලිනි. විශේෂයෙන්ම අප්‍රිකා මහාද්වීපයේ උතුරු කොටසේ රටවල් වන ලිබියාව(මරණ 1581) මොරොක්කෝව(මරණ 7743), ඊජිප්තුව(මරණ8197), ඇල්ජීරියාව(මරණ2803) හා ටියුනීසියාව(මරණ 5215) වැනි රටවල වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්