
අමාත්ය මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරන ලේකම්වරයෙකුයැයි කියන සිංගප්පූර් සරත් නැමැත්තා කැලණිය ප්රාදේශීය සභාවේ උප සභාපති චමිල දුමින්ද මහතාගේ නිවසට මැර ප්රහාරයක් එල්ලකර රුපියල් ලක්ෂ 20ක් කොල්ලකාගෙන ගොස් ඇත.
අද (27) උදේ සිංගප්පූරු සරත් 15දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් සමග කැලණිය රජමහා විහාරය ඉදිරිපිට ඇති උපසභාපතිවරයාගේ නිවසට පහර දී අලාභහානි සිදුකර ඇත. එම ස්ථානයට පැමිණි උපසභාපතිවරයාගේ නැගනිය අතතිබූ රුපියල් ලක්ෂ 20ක්ද මැරයන් විසින් කොල්ල කා ඇතිබව කියයි. කිසියම් කටයුත්තක් සදහා එම මුදල් බැංකුවෙන් ගෙන ආ බව ඇය ප්රකාශකරයි.
මේ අතර පලායන මැරයන් පසු පස ප්රදේශවාසීන් හඹාගොස් ඇත. එයින් බේරීමට මැරයන් ගොස් ඇත්තේ ආසන්නයේ තිබෙන කැලණිය පොලිස්ථානයටයි. මෙම අවස්ථාවේදී සිංගප්පූරු සරත් ඇතුළු පිරිස ඔවුන්ගේ අනුගාමිකයින් විශාල පිරිසක්ද පොලීසියට කැදවා ඇත. දෙපිරිසේම 200ක් පමණ පිරිසක් පොලීසිය තුලට ගොස් තිබේ.
මෙම අවස්ථාවේදී කැලණිය කොට්ඨාස භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයාගේ නියෝජිතයෙකු පැමිණ මැරයන් අධිකරණයට ඉදිරිපත්කරන බව ප්රකාශකිරීමෙන් පසුව පිරිස විසිරගොස් ඇත.









