කැමරා ශිල්පි සුමින්ද වීරසිංහ කලුරිය කරයි

සම්මානලාභී සිනමා කැමරා ශිල්පියෙකු වන සුමින්ද වීරසිංහ මහතා අභ්‍යාවප්‍රාප්ත වී ඇතැයි වාර්තාවේ.

අද (18) අලුයම අනුරාධපුරයේ සිනමා රූගත කිරීමක් අතරතුරදී ඒ මහතා අසාධ්‍ය වී ඇති අතර අනුරාධපුර රෝහල වෙත ගෙන එන විට ද ඔහු මියගොස් ඇති බව රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මියයන විට 62 වැනි වියේ පසු වූ වීරසිංහ මහතා 1984 වසරේ අරුණට පෙර චිත්‍රපටයේ ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස කටයුතු කළ අතර චිත්‍රපට 11 ක ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස කටයුතු කර ඇත.

චිත්‍රපට 39 ට අධික සංඛ්‍යාවකට දායක වී ඇති ඔහු ජාතික සම්මාන 23 ක් හිමිකරගෙන තිබීම විශේෂත්වයකි.

ඒ අතර අරුණට පෙර, සිහින දේශයෙන්, දැහැන, පවුරු වළලු යන චිත්‍රපට හතර සඳහා සරසවිය හා ඕ.සී.අයි.සී. ඇතුළු ජනාධිපති සම්මාන ද හිමිකරගෙන තිබේ.

ඊට අමතරව ජනප්‍රිය චිත්‍රපට වූ ගිනි අවි සහ ගිනි කෙළි, කිණිහිරියා මල්, අලිමංකඩ යන චිත්‍රපටවල ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස සුමින්ද වීරසිංහ මහතා කටයුතු කර ඇත.

වීරසිංහ මහතා සිරි දළදා ගමනය චිත්‍රපට‍යේ රූගත කිරීම් අතරතුරදී මෙසේ රෝගී වී ඇත.

සිනමා කැමරාකරණය සම්බන්ධයෙන් සම්මාන ගණනාවක් හිමිකර ගත් සුමින්ද වීරසිංහ මහතා ටෙලි නාට්‍ය ගණනාවක ද කැමරා අධ්‍යක්ෂණයෙන් දායක විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්