කැනබීස් යෝධයාට බාර නොදී අපි හැමෝම එක්වී පෙරදිග බන්ධනාගාරය බිඳිමු !

කැනබීස් යෝධයාට බාර නොදී අපි හැමෝම එක්වී පෙරදිග බන්ධනාගාරය බිඳිමු !

(පොත් කියවන හැන්දෑවේ ‘ධූමලාවන්‍යාගාරය’ පිළිබඳව මාර්තු 28 වැනිදා කී දේ සහ නොකී දේ පිළිබඳව ලිඛිත සටහනක් තබන්නැයි කිහිපදෙනෙක් කළ ඉල්ලීම අනුව මේ සටහන ලියැවින)

රුවන් බන්දුජීව ධූමලාවන්‍යාගාරය කවි පොත නිකුත් කර තිබෙන්නේ නව සංස්කෘතික මිනිසෙකු ඉල්ලා සිටින මොහොතක. ගත කරමින් තිබෙන ඒ මොහොත කියන්නේ, 2022 මැයි 09වැනිදායින් පසු ගෙවී යමින් තිබෙන අවුරදු කිහිපයක කාලය. මම ඉතා නිශ්චිතව 2022 මැයි 09 කියලා කියන්නේ ඉතා ගැඹුරු සහ පළල් ආර්ථික දේශපාලනික සංස්කෘතික අර්ථයකින්. ගෝල්ෆේස් පිටියේ පැවැත්වූ සාමකාමී ආදරයේ අරගලයට ම්ලේච්ඡ ප‍්‍රහාරය එල්ල කළේ 2022 මැයි 09 වැනිදා.

අපි කවුරුත් ඒ ප‍්‍රහාරය ඒ මොහොතේම හෝ පසුව දැක්කා. ඒ මොහොතේම දැක්ක ගෝල්ෆේස් පිටිය අවට සිටි පිරිස් මහ පාරට බැස දස දහස් ගණනින් දිව ආවේත් නිරායුධවමයි. අතර මගදී අතට අහුවුණු දේකින් ම්ලේච්ඡු ප‍්‍රහාරයකන්ට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කළා. ඈත ප‍්‍රදේශවලින් ගෙන්වා සිටි ප‍්‍රහාරයකයන් පැමිණි බස් රථ පෙරළා දැම්මා. රාජපක්ෂලාගේ මැරයන් එල්ල කළ ප‍්‍රහාරයට ප‍්‍රතිප‍්‍රහාර එල්ල වුණේ කොළඹ විතරක් නොවෙයි. මහජනතාව එල්ල කළ ප‍්‍රති ප‍්‍රහාරය ගැන මොන සමාජ විද්‍යාඥයාද සාධාරණ විචාරයක් සිදු කළේ. එච්.ආර් ජෝතිපාලගේ දේහය බොරැල්ල කනත්තේ ආදාහනය කළ වේලාවේ මහජන කළබලයක් ඇති වුණා.

මේ සිද්ධිය මොකක්ද? කියලා ආචාර්ය සරත් අමුණුගම එදා සමාජ විද්‍යාත්මක ලිපියක් ලීවා. සංස්කෘතික බල කණු ඇද වැටීම, ජනප‍්‍රිය සංස්කෘතිය… කියලා. බොහෝ අය මෙය බොරැුල්ල කනත්තේ සංස්කෘතිය කියලත් හැඳින්වූවා. ගෝල්ෆේස් අරගලකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡු මැර ප‍්‍රහාරයට එල්ල කළ ප‍්‍රතිප‍්‍රහාරයේත් අර වගේම ගැඹුරු සමාජ විද්‍යාත්මක අර්ථයක් තියෙනවා. මොකක්ද ඒ අර්ථය… ”ඔව් අපි උඹලාගේ බොරුවලට රැවටුණා තමයි. ඒක ඇත්ත. ඒත් අපි නිවටයෝ නොවෙයි” කියන ගැඹුරු පණිවිඩය මේ ප‍්‍රතිප‍්‍රහාරය තුළ තිබුණු අර්ථය. මෙන්න මේ අර්ථය මේ මහ පොළොවේ දේශපාලනික, ආර්ථික, සංස්කෘතික වශයෙන් සාධනය කිරීමේ නොනගත කාලයක්, පරිවාස කාලයක් අපි කවුරුත් ගත කරමින් ඉන්නේ. මේ මොහොත නව සංස්කෘතික මිනිසෙක් ඉල්ලා සිටින මෙහොතක් බව කියන්නේ ඒ නිසයි.

නව සංස්කෘතික මිනිසෙකු ඉල්ලා සිටින මේ මොහොත හරියට කියවා ගැනීමට නම් රුවන් බන්දුජීව ධූමලාවන්‍යාගාරයෙන් කියන ආකාරයට 1658 ලන්දේසි ආක‍්‍රමණ යුගය කරා යන්න ඕනෑ. 23 පිටුවේ තිබෙන ”කි‍්‍ර.ව. 1764දී ඕලන්දයද මෙහෙද” කියන කවිය නිසා ඒ දක්වා යන්න ඕනෑ. ඒවගේම 13 පිටුවේ ”සුරාසල් කවිය” කියවා ගන්න කෝල්බෲක් සාමි ආව ඉංග්‍රීසි පාලනයේ 1833 දක්වා යන්න ඕනෑ. තව පැත්තකින් 53 පිටුවේ ”කැලඹෙනා සංසිද්ධි පිිළිබඳ” කවියේ ”අන්දරේ” කියවා ගන්න නම් 1782-1798 සෙන්කඩගල රාජාධිරාජසිංහ රජුගේ කාලයට යන්න ඕනෑ.

නමුත් මම ඒ අතීතය දක්වාම ගිහින් මේක ඉතිහාස පාඩමක් විදිහට ඒ කාලය දක්වා යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කවියේ අවශ්‍යතාව අනුව අදාළ කරුණු කතා කරමු. ඒ අතර අපි ගත කරන මේ සංස්කෘතික මොහොත කියවා ගන්න මම කැමතියි. 1896 වගේ කාලයට යන්න. ඒ ඉංග්‍රීසි පාලන කාලයේදී මේ රටට සිනමාවේ මුල්ම හැඩරුව හඳුන්වාදීම. සිනමාව හඳුන්වාදීමට මූලිකවූයේ නූර්බායිගේ කූඩාරම. ඊට පස්සෙදි 1906 මේ රටට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවශ්‍ය බවට පුරෝගාමී හඬ නැගීම. ඒ මූලිකයා පොන්නම්බලම් අරුණාචලම්. පස්සෙදි මාක් ප‍්‍රනාන්දු සහ ජේම්ස් පීරිස් එකතු වී මූලික අඩිතාලම දැම්මා.

ඊළඟ විශේෂ වැදගත් ඉල්ලීමක් දොන් ඩේවිඩ් හේවාවිතාරණ කලා. මම කියන්නේ අනගාරික ධර්මපාල ගැන නොවෙයි. දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලංකාවට තාත්ෂණික අධ්‍යාපනය අවශ්‍ය බවට මුලින්ම හඬ නැගුවේ ඔහු. ඊට පස්සේදී 1918දී පමණ ඩී.ජේ විමල සුරේන්ද්‍ර ජල විදුලිය හඳුන්වා දීම. තවත් වැදගත් දෙයක් 1926දී වතු ජනතාව අතර මුල පිරුවා. නඬේෂ් අයියර් හා මීනච්චි අම්මා මූලිකවී වතු ජනතාව වහල්භාවයෙන් මුදා ගන්න හඬ නැගීම ඇරඹුවා. නඩේස් අයියර් පත්තරවලට ලිපි ලියමින් කම්කකරු නායකයෙකුගේ භූමිකාවට මුල පිරුවා. ඔහුගේ බිරිඳ මීනච්චි අම්මා කවි ලියමින් වතු කාන්තාව අතර ප‍්‍රචාරක කටයුතු ගෙන ගියා.

තවත් කඩඉමක් අපට හමුවෙන්නේ 1930 දශකය මුලදී. ආනන්ද කුමාරස්වාමි පෙරදිග සංස්කෘතිය වගේම ලංකාවේ සංස්කෘතිය ගැන පර්යේෂණ කරමින් ලිපි ලියා ලෝකයට ඉදිරිපත් කළා. 1933 විතර අනගාරික ධර්මපාල ”සිංහලයිනි අවදිවව්! බුද්ධාගම බේරා ගනිව්!” කීවා. 2019 පාස්කු ප‍්‍රහාරය දක්වාත් ඉතා තීරණාත්මකව 2019 නොවැම්බර් ජනාධිපතිවරණය දක්වාත් ආවේ මෙන්න මේ උමතුව. 1940 මුලදී මොහොමඩ් ගවුස් සංගීතයත්, උඳුගොඩ ධර්මසිරි පෙරේරා ගීත රචනයෙන් නූතන සිංහල ගීතය බිහිවුණා. 1940 දශකයේදී සී.ඩබ්.ඩබ් කන්නන්ගර නිදහස් අධ්‍යාපනය දිනා ගැනීමේ අරගලය අරඹනවා. 1960 දශකය අවසාන කාලයේ මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තිය හඳුන්වා දෙනවා. ඒ වගේම ප්‍රේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය මහාලින්ගම්ගේ කාර්යභාර්යය නැවත කියවියුතුයුව තිබෙනවා.

මේ විදිහට පැමිණෙන ගමනේදී ගරු මර්සිලින් ජයකොඩි පියතුමා, උඩකැන්දවෙල සරණංකර හාමුදුරුවෝ, (සමසමාජය ගැන අදහස් කීම) වල්පොල රාහුල හාමුදුරුවෝ (සැබෑ බෞද්ධයා) ඊ.ඩබ්ලිව් අදිකාරම් වැනි අය ගෙන ගිය හඬ නැවත කියවා බැලිය යුතුම බලපෑමක් සමාජය මත මුදා හැරියා. මෙන්න මේ විදිහට විවිධ ක්ෂේත‍්‍රවල පුරෝගාමීන්ගේ කාර්යභාරය තුළින් අපි ගතකරමින් සිටින සමාජ සංස්කෘතික යුගය නිර්මාණය වී තිබෙනවා. තව ඩේසි ඩැනියෙල් නැත්නම් රුක්මනී දේවී සහ ෆරීනාලායි දෙදෙනාත් මේ අතරට ගන්නම ඕනෑ. මේ පුරෝගාමීන්ගේ මඟ පෙන්වීම්වලට අමතරව සංවිධානාත්මක ආයතන කිහිපයක් පොදජන සංස්කෘතියට බලපෑම් කළා.

1909 දී ඩී.ආර් විජේවර්ධනගේ ප‍්‍රාග්ධනයෙන් ලේක් හවුස් ආයතනය පිහිටුවා දිනමිණ පත්තරය පටන් ගැනීම. 1923 ගුවන් විදුලිය හඳුන්වාදීම. 1931 සර්වජන ඡන්ද බලය ලැබීම. 1935 ලංකා සම සමාජ පක්ෂය බිහි කිරීම. 1947දී එක්සත් ජාතික පක්ෂය බිහි කිරීම. 1948 අනුප‍්‍රාප්තික පාලකයන් පත් කිරීම වගේ ආයතන ගත සංවිධාන කඩඉම් පොදු සමාජ සංස්කෘතික ජීවිතයට විශාල බලපෑම් කළා.

ජාති, ආගම්, කුල වගේ කිසිම බෙදීමක් නැතිව ලංකාවේ මිනිසුන් විවිධ අංශවලින් මේ රටේ මිනිසුන්ගේ පොදු සමාජ සංස්කෘතික ජීවිතයේ පළල් වර්ධනයක් සිදුවුණා. නමුත් 1833 විතර ඉඳලා ඉංග්‍රීසීන් ක්‍රියාත්මක කළ බෙදා පාලනය කිරීමේ න්‍යාය 1910දී තවත් තීව‍්‍ර කළා. 1948න් පස්සේදී අනුප‍්‍රාප්තික නායකයින් වඩාත් තියුණු විදිහට බෙදා වෙන් කිරීම සහ පාලනය දියත් කළා. 2019 නොවැම්බර් ජනාධිපතිවරණය සහ 2020 අගෝස්තු මහා මැතිවරණය දක්වාම ඉතාම තියුණුවට බෙදා වෙන්කිරීම සිදුකළා. ඊට ප‍්‍රතිපක්ෂව පොදු මිනිසුන් හැටියට ජාතිකත්ව, ආගම් කුලමල බෙදීමෙන් තොරව පොදු ජන සංස්කෘතිය නිර්මාණය වෙන්න වැඩ කළා. දේශපාලනයේදී ඉංග්‍රීසීන්ගේ සිට අනුප‍්‍රාප්තික පාලකයින් දක්වාම බෙදා වෙන් කිරීම කළා.

2022 මැයි 09 පොදු ජන ප‍්‍රතිපහාරය එල්ල කරමින් ”අපි රැවටුණා තමයි. ඒත් නිවට නෑ” කියන පණිවුඩය දීම දක්වා මේ රටේ සංස්කෘතික මිනිහා මෙහෙය වූයේ ජනතාව අතර පොදු සංස්කෘතික බැඳීම වෙනුවෙනුත් පාලකයන් බලය වෙනුවෙන් බෙදාවෙන් කිරීමත් කියන ප‍්‍රතිවිරෝධී ඝට්ටනය තුළින්. 2022 මැයි 09 වැනිදායින් පස්සේ මේ ගෙවී යන්නේ ”නව සංස්කෘතික මිනිසෙක්” ඉල්ලා සිටින සංක‍්‍රමණීය කාලයක්. රුවන් බන්දුජීවගේ ධූමලාවන්‍යාගාරය ගැන මම කතා කරන්නේ මේ සංක‍්‍රමණීය නොනගත කාලය තුළ සිටිමින්.

දැන් අපි ධූමලාවන්‍යාගාරයේ කවි. නව සංස්කෘතික මිනිසෙකු බිහිකිරීමට අදාළව කරන බලපෑම් සහගත බව නිදර්ශන ඇසුරෙන් සලකා බලමු. ධූමලාවන්‍යාගාරය කෘතිය නිර්මාණය කර තිබෙන්නේ වෙනම ආකෘකියකට. පළමු දුම්වරය, දෙවන දුම්වරය වශයෙන් පියවර දෙකක්. දයාසේන ගුණසිංහයන්ගේ ශූර කෙටිකතා භාෂා රචනය මේ දුම්වර දෙකේදීම යොදාගෙන තිබෙනවා. පළමු භාගයේ කවි මල් 14ක් පිපෙනවා. දෙවන වාරයේදී කවි මල් 18යි.

මගේ මුල්ම අවධානය සුරාසල් කවි කෙරෙහි යොමු වෙනවා. මල් පිපී පරවී ඵල හට ගන්නා සොයා දහමේ සංසිද්ධිය ඉතා අපූරුවට වරනඟා තිබෙනවා.

දොඩමට දෙමින් ඉඩ මළ පැණි දොඩම් මල
දෙළුමට දෙමින් ඉඩ මළ රතු දෙළුම් මල
කරලට දෙමින් ඉඩ මළ සියඹලා මල
ගමටම දෙමින් පණ මළ මයෙ කිතුල් මල

මල් පිපී පරාගනය වී යාමෙනුයි මිහිරි පළයක් හට ගන්නේ. ඒ සොබාදහමේ ක්‍රියාවලිය මිනිසාගේ මැදිහත් වීමෙන් එක නිශ්චිත තැනකදී වෙනස් කරණවා. කිතුල්, පොල්, තල් මල් ඒ ආකාරයෙන්ම සොබාදහමේ ක්‍රියාවලියට අවනතවීමට ඉඩ නොඳීමයි. කිතුල් මල් බෙහෙත් තියනවා. පොල්, තල් මල් තලනවා. මල් මදිනවා කියලත් කියනවා. තලලා මල් කපනවා, උදේ හවස. මේ විදිහට කපන මල්වලින් මී බිඳු වෑහෙනවා. තෙලිජ්ජ කියලා නම් කරන්නේ සොබා දහමේ ක්‍රියාවලිය නිශ්චිත තැනකදී නතර කරලා ලබාගන්න අස්වැන්නට. තෙලිජ්ජ දවසක් විතර පෑහෙන්න ඉඩ හරිනවා. එතකොට ”රා” වෙනවා. කිතුල් රා, පොල් රා, තල් රා කියලා. තාල වර්ගයේ ගස්වල පිපිපෙන මේ මල්වලට විතරයි මිනිසාගේ මේ බලපෑම කරන්න හැකි වෙන්නේ.

අනෙක් මල් පරාගනය කරන්න මී මැස්සන්, බඹරුන් කරන කාර්යභාරය මේ තාල වර්ගයේ ගස්වලදී මිනිසා තමන්ගේ අතට ගන්නවා. හැබැයි ඒ ගන්නේ තල්, පොල්, කිතුල් ගස්වල ප‍්‍රචාරණය නතර කරළා. මී මැස්සන් සහ බඹරුන් කරන්නේ ශාක ප‍්‍රචාරණයට අත්‍යවශ්‍ය සේවාවක්. මිනිසාගේ මැදිහත් වීමෙන් ලබා ගන්නා අස්වැන්න තුළින් ගමටම පණ දෙන්නේ රා බෙදා දීමෙන්. උදේ හවස ඉතාම තියුණු පිහි මුවහතකින් බුලත් කොලයක ඝනකමකින් විතර සිහින් පෙත්තක් කපා දමමින් තෙලිජ්ජ ගන්නවා. මේ තෙලිජ්ජ පැහෙන්න නොදී කිතුල්, පොල්, තල් පැණි උණුකර ගන්නවා. හකුරුත් හදනවා. සොබාදහමේ මී මැස්සන්, බඹරුන් කළ ක්‍රියාවලියට මිනිසා මැදිහත්වී වෙනම අස්වැන්නක් ලබා ගන්නවා. බඹරුන්, මී මැස්සන් කරන ක්‍රියාවලියේදී මී වද, බඹරවදවල පැණි පුරවනවා. පැණි ලැබෙන්නේ දෙළුම්, දොඩම් ගෙඩිත් සියඹලා කරලූත් හට ගැනීමට ඉඩදීමෙන්. මිනිසා නිෂ්පාදනය තෙලිජ්ජ ගෙන වෙනම ක්‍රියාවලියකට යටත් කර පැණි නිෂ්පාදනය කරනවා. නැත්නම් රා. හැබැයි එතකොට සොබාදහමට ඵලයක් නම් නිෂ්පාදනය වෙන්නේ නෑ. මල තියණු වේදනාවෙන් කැපි කැපී මිය යනවා විතරයි.

හැබැයි ඒ මල් මිය යන්නේ මුළු ගමටම පණ දෙමින්. කොහොමද ගමටම පණ දෙන්නේ රා පොල්කටු හත අය හිස් කිරීමෙන්. නවවෙනි පොල්කටුව හිස් කරන පුද්ගලයා කරන්නේ මොනවාද කියලා ඒ ඔහුට සිහියක් පතක් නැහැ. තමන්ට හැබැහින් කිට්ටු වෙන්න වත් බැරි ප‍්‍රභූ ළමාතැනී එක්ක යහන් ගතවීම පවා කරනවා. ”ළමා තැනී මළ දුක උතුරන්ඩ ඇති” ඉතිං ඒ ළමා තැනී මියගිය ශෝකයටත් කාටත් හොරා බෙන්න වෙනවා. සිහියක් පතක් තියෙද්දී කරන්න බැරි ගොඩක් වැඩ කරනවා. ස්වභාවික කි‍්‍රයාවලිය පවා එහෙ සිද්ධ වෙනවා.

”වැනි වැනි ඇවිත් අපි හිටයදි දොළට වෙලා
දොළ ගල් අතර හිරවී හඳ මාමා මළා”

එහෙම දේවල් පවා වෙනවා. ශ‍්‍රමය වගුරා වෙහෙස මහන්සිවී කුරුඳු තලන, වෙනත් බොහෝ දේ කරන මිනිසුන්ට සැඳෑසමයේ පණ දෙන්නේ කිතුල්, පොල්, තල් මල්වලින්. වැඩ කරන මිනිසුන් වෙනුවෙන් පණ දෙන මේ කි‍්‍රයාවලිය බොහොම නිදහසේ ගමේ මිනිස්සු කරගෙන ගියා. කළුබෝවිල, බෙල්ලන්විල මිනිසුන් එහමමයි. මේ මිනිසුන්ගේ එදිනෙදා ක්‍රියාවලියට ”කෝල්බුරුක් සාමි” මැදිහත් වෙනවා. කෝල්බුරුක් සාමිලාගේ කට්ටිය, ඒ කියන්නේ ඉංගී‍්‍රසි පාලකයෝ දැන් ගැමියන්ට ගමේ සීමාවෙන් පිට සෙයිලමේ පොළක් හඳුන්වාදී තිබෙනවා.

කළු මාමාට කළු සුරුට්ටු පෙට්ටි දෙදක් මදි
සපුමලීට තලු මරන්න පැණි දුම්කොළ මදි
කොල්බුරුක් සාමිතුමා තාම පෑහිලා මදි
රටේ ලොකුම මල මැද්දත් මලේ අපිට මදි

මෙන්න මේ ”කෝල්බුරුක් සාමිතුමා ”කවුද? සොබා දහමේ අනාවරණ ක්‍රියාවලිය තුළ මල් ඵල හට ගැනීමට මී මැස්සා, බඹරා සම්බන්ධ වෙනවා වගේම කතුල්, පොල්, තල්වල්වලට මිනිස් ශ‍්‍රමය මැදිහත් වෙනවා. මල සහ මීමැස්නන් අතර සරල සුන්දර අනවරත ක්‍රියාවලිය වගේම ගැමියා සහ මීරා, රා අතර ක්‍රියාවලියක් කෝල්බුරුක් සාමිතුමාගේ ආගමනය දක්වා බොහොම නිදහසේ පැවතුණා. ”කොල්බුරුක් සාමි” තුළින් රුවන් බන්දුජීව එකපාරම තියුණු දේශපාලන හැරවීමකට අපව ගෙන යනවා.

අපි කවුරුත් කෝල්බෲක් කැමරන් ප‍්‍රතිසංස්කරණ ගැන අහලා, කියවලා තියෙනවා. 1823 ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් ගෙන ආ ප‍්‍රතිසංස්කරණ. විලියම් කෝල්බුරුක් සහ සී.එම් කැමරන් දෙදෙනා හඳුන්වාදුන් ප‍්‍රතිසංස්කරණ. විලියම් කෝල්බෲක් කියන්නේ ආර්ථික විද්‍යාඥයෙක්. ඉංග්‍රීසි පාලකයන් ඔහු ලංකාවට එවන්නේ විශේෂ හේතුවක් ඇතිව. මේ රටෙන් උපයා ගන්නා ආදායමට වා ඉංග්‍රීසි පාලනයේ වියදම වැඩිවෙලා තිබුණා. මෙන්න මේ ‘පාඩුව’ පියවා ගන්න උත්තර සොයන්නයි කෝල්බෲක් එවන්නේ. කේල්බුරුක් සාමිතුමා අලුත් බදු වර්ග ගණනාවක් පටවනවා, ඉංග්‍රීසීන්ගේ ආදායම් වැඩි කරන්න. ඒ අතර රා බද්දත් තිබුණා. ඇඟබද්ද, බලු බද්ද හරහා අද VAT දක්වාම වැටිලා තියෙන්නේ ඉංග්‍රීසීන් එවූ ‘කෝල්බුරුක් සාමිතුමාගේ” පිල්ලිය.

ඊළඟට මගේ විශේෂ අවධානය යොමු වෙන්නේ ”රූපකයක් විලසින් වලසුන්” කියන කවියට. මේ කවියෙන් ඇත්තටම සංකේතාර්ථයක් අරගෙන තිබෙන්නේ මී මැසි ජනපදයක්. නැත්නම් බඹර ජනපදයක් සහ වලසුන්. කවිය පටන් ගත්තේ මෙහෙම,

නික්ම ගිය පසු වලසුන්
බිඳ දමා මධු ජනපද
අවස්ථාවක් ලැබෙයි – වැඩකාර මැස්සන්ට
නිරවුල් කර ගන්න – තමන් සමඟ සංවාදය

ඉතාම රමණීය කාව්‍යාත්මක යෙදුමකින් කියන්නේ ”බිඳ දමා මධු ජනපදය” මේ මධු ජනපදය ගොඩනඟන්නේ මී මැස්සන් නැත්නම් බඹරුන්. ඔවුන් අතිශය කඩිසර ක්‍රියාකාරී මැස්සන්. මලක් මලක් නෑර ගිහිං. මල් රොන් වගේම මල් පැණි ගෙනත් ඉස්සෙල්ලාම ජනපදය ගොඩනඟනවා, මී ඉටිවලින්. පස්සේ මේ ජනපදයේ එක එක තල බෙදා වෙන්කර එක කලාපයක ඊළඟ පරපුර බිහිකරන බිත්තර දමා පිළවුන් හදනවා. ඊට මුහුණලා තිබෙන ඊළඟ වදවල පැණි පුරවනවා. මේ කටයතු කරන්නේ වැඩකාර මැස්සන්. බිත්තර දමන්නේ සහ ජනපදය පාලනය කරන්නේ රැජිණියක්. වලසුන් කරන්නෙ කොහෙවත් ඉඳලා ඇවිල්ලා, මේ ජනපදය කොල්ලකන එක. ඒ බව කාව්‍යාත්මකව ගොඩනඟන්නේ මෙහෙම. ‘වලසුන්’ කියන්නේ කවර රූපකයක්ද මල් උයන් තුළදී උන් හමු නොවන්නේ මන්ද.

ඈතට පියඹා ගිහින් මලින් මලට සැරිසරා සතුරු ප‍්‍රහාරයන් පවා මැද රොන් හෝ පැණි ගේන්නේ වැඩකාර මැස්සන් විතරයි. ඒ සරණ මල් උයන්වල තැන්වලදී වලස්සු හමු නොවෙන්නේ කුමක් නිසාද? මේ කියන වලසුන් සහ මී මැස්සන් අතර අනවතර ගැටීමක් තියෙනවා. මේ ගැටීමේදී ජනපදයට නායකත්වය දෙන්නේ බලවන්තිය, රැජින.

”ඕන වලහෙක් එකයි – මං අනින්නේ දෙකයි” රැජිණිය කයිවාරු ගහන්නෙ එහෙමයි. බොහොම ආඩම්බර කටකාරියක්.

ගොරබිරම් නදින් රැජින කෙරුවත් සද්ද
වලස් ගඳ දුරතියා ඉවෙන් මෙන් හැඳින ගෙන
පිලව් ටික රැක ගන්න ඒකි දන්නෙත් නැද්ද?

බොරු කයිවාරු නොවෙයි, විය හැකි අනතුර කලින් දැකලා අනාගත පරපුර රැකගන්නවත් දන්නේ නැති රැජිනක්. අද අපිට වෙලා තියෙන්නේ මේ මධු ජනපදයට සිදුවුණු ඛේදවාචකය නොවෙයිද?

අපේ කඩිසර කමින් අලස වලසුන්ට මිස
ජනපදේ අපේ උන්ට ලැබෙන මොකවත් නැද්ද
වලස් නිය පහරකින් ඇද වැටෙන්නට කලින්
කල්පනා කරමි මම ‘ඇත්තටම මුන් කවුද?’

අපි කාටත් කවියේ යටිපෙළ ඒ කියන්නේ ආත්මය ඉතා හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඒත් මම ඉතා නිශ්චිත තැන් දෙකකට මේ කවිය කේන්ද්‍රගත කරනවා. එකක් 1980 ජූලි මහා වැඩවර්ජනය. එදා ඒ වෘත්තීය සමිති නායකයින් ක්‍රියා කළේ මේ රැජිනිය වහසි බස් දොඩවනවා වගේ නොවෙයිද?

” ඕන වලහෙක් එකයි – මං අනින්නේ දෙකයි” මම ඔවුන්ගේ අතිමහත් කැපවීමට ඒ ඓතිහාසික ගෞරවය දෙන ගමන් කවියාම මතු කරන ”නිරවුල් කර ගන්න – තමන් සමඟ සංවාදය” කියන අනිවාර්ය කොන්දේසිය ඉටු කළාද කියන එක ප‍්‍රශ්නයක්. ඉතිං වලසුන් දශක තුන හතරක් යනතුරු ගොඩනඟන්න බැරි තරමට වැඩකාර මැස්සන් අංශභාග රෝගීන් කර දැම්මා. ජනපද කඩා සුනුවිසුනු කර දැම්මා.

දෙවැනි කේන්ද්‍ර ගතකිරීම වමේ න්‍යායන් තුළම පමණක් කාල්ගාන වාමාංශිකයන් වෙත. මාක්ස්, එංගල්ස්, ලෙනින්ගේ න්‍යායන් අදාළ තත්වයන්ට ගලපා නොගෙන වියුක්තව ගෙන න්‍යාය පාඨ උච්ඡාරණය කරමින් වහසි බස් දොඩනවා විතරක් නොවේද? ඇත්තටම මුන් කවුද? එදා මාක්ස්ලා, ලෙනින්ලා, ට්‍රොට්ස්කිලා හඳුනාගත් ආකාරයටම විතරක් සීමා වෙලා මේ වලසුන් හඳුනා ගන්න පුළුවන්ද? ඊට වඩා පළල් දැක්මකට යන්න ඕනෑ නැද්ද? මම මේ මොහොතට අදාළව ‘වලසුන්’ කියවා ගන්නේ ප‍්‍රාග්ධන හිමිකාරිත්වය නොවෙයි. ඒ ප‍්‍රාග්ධන හිමියන්වත් ත‍්‍රාඩ පාදඩ කල්ලියකට බිලිදීමේ දේශපාලන ක්‍රියාවලියට නායකත්වය දෙන අන්ත ආගම්වාදී, ජාතිවාදී, මානව විරෝධී පාලකයන්. සම්ප‍්‍රදායික ප‍්‍රාග්ධන හිමියනුත් මේ ත‍්‍රාඩයන්ට යට කරලයි ඉන්නේ.

ඊළඟට මගේ විශේෂ අවධානය යොමු කරන්නේ ”මැතිවරණය දා මගේ කුඩා හිමිදිරිය” කවියට. මේ කවියට මගේ නොමද ප‍්‍රසාදයක් මගෙ නොමද ප‍්‍රහාරයත් දෙකම එකවර එල්ලකරනවා. මේ දෙක ගැනම ඉතාම කෙටියෙන් කරුණු දක්වන්නම්.

පෙරළිලා
බිනි බිඳු බවුසරයක්
දහස් පෙතියා මල් ගොල්ලට

බලන්න සොබා දහමේ ක්‍රියාකාරිත්වය කොයිතරම් සෞන්දර්යාත්මකව කවිය තුළට පෙළ ගස්සනවාද? අපිව සොබා දහම එක්ක ඉතා රමනීය සෞන්දර්ය චාරිකාවකට ගෙනියනවා. අන්තිම කවි දෙකේදි ඡන්දයට ගේනවා.

අපහැදිලි කිසි දෙයක
ඡායාව කුදු නැති උදෑසනක
පැහැදිලි අපේක්ෂකයෙක් නැති තැන
මං ප‍්‍රාර්ථනා කෙරුවා

”කැනබීස් යෝධයා පැමිණ
පෙරදිග බන්ධනාගාරය සිඳ බිඳ
මුදාගෙන සිරකරුවන්
අම්බරයට විසි කරත්වා !” කියා
ඔව්.. මං ප‍්‍රාර්ථනා කෙරුවා

අපි කාටවත් ස්වභාවික පරිසරයේ සෞන්දර්යයන් විඳ විඳ ඒකෙන් විතරක් ඉන්න ඉඩ තියෙනවාද? මොකද අපි ඉන්නෙ පෙරදිග බන්ධනාගාරයේ නිසා. පෙරදිග ධාන්‍යාගාරය ”පෙරදිග මුතු ඇටය – ආදම්ගේ උයන කියලා කිවූ රට අද ”පෙරදිග බන්ධනාගාරය” වෙලා. දයාසේන ගුණසිංහ අදීන මාධ්‍යවේදී නිර්මාණකරුවා ”කඳුලක හැඩය” කියලයි කිව්වේ. අද මේ කඳුල ”පෙරදිග බන්ධනාගාරය” බවට පත්කරලා. කිවියා කියනවා මේ බන්ධනාගාරය බිඳින්න ඕනෑ කියලා. හැබැයි ඒක අපේ කාර්යයක් හැටියට ගන්නේ නෑ. ඒක බාර කරනවා ”කැනබීස් යෝධයාට” පට්ටම අවුලක් නොවෙයිද මෙතන තියෙන්නේ. මේ බන්ධනාගාරය බිඳින වැඩේ අපේ දෙයක් හැටියට නෙගෙන පුළුවන්ද? ඒක විහාරමහා දේවියට, සපුමල් කුමාරයාට නැතිනම් දියසෙන් කුමාරයාට බාරදීලා අපි පැත්තකට වෙලා සිටියා. අන්තිමට වැඩ කරන අපේ විරුවාට බාර දුන්නා. දැන් බන්දු ජීව යෝජනා කරන්නේ කැනබීස් යෝධයාට බාර දෙන්න. වැඬේ හරිද?

කැනබීස්ට බාරදී අපි පැත්තකට වෙන්න තර්කයක් හදා ගන්නවා. පැහැදිලි අපේක්ෂකයෙක් නැති තැන කියලා. ඒ කියන්නේ පරම, නිර්මල, සර්වතෝභද්‍ර පොරක් වෙන්න ඕනෑ. එහෙම කෙනෙක් නෑ. ඒ නිසා කැනබීස්ට බාරදී අපි පැත්තකට වෙලා ඉන්න! වැඩේ හරිද? අපිට දේශපාලනිකව තේරුම් ගන්න ඕනෑ සරල දෙයක් තිබෙනවා. අපි අපේ ලෙයින් බිහිකරන දරුවා අපේ හතරැස් හෝ රවුම් හෝ වෙන ඕනෑම සිතුවිලි සීමාවක රඳවා ගන්න පුළුවන්ද? අපේ ප්‍රේම වන්තිය, අපේ ප්‍රේමවන්තයා එහෙමද? අඩු ගානේ අපේ දරුවොවත් අපේ ඒ සීමාවේ ඒ අර්ථයෙන් රඳවා ගන්න බැරි නම් අපි කොහොමද අපේ මනෝ ලෝකය පරිපූර්ණ කරන ඡන්ද අපේක්ෂකයෙක් හොයා ගන්නේ. අපේ දරුවා අපේ සීමාවේ කොටුකර සිතීම ම අතිශය විනාශකාරී වරදක්. ඡන්ද අපේක්ෂකයන් ගැන අපි කවුරු හරි සර්වතෝභද්‍ර සියල්ලෙන් පරිපූර්ණ නිර්මල කියලා හිතනවා නම් ඒකත් අතිශය වැරදියි. මෙන්න මේ දැක්ම නිරවුල් කර ගන්න ඕනෑ…

”පෙරදිග බන්ධනාගාරය” බිඳින්න ඕනෑ. අපි හැමෝම අපිට කොටසක් ඒකෙ බාර ගන්න ඕනෑ. කුලුගෙඩි පහර දෙන්න ඕනෑ. ටික කාලයකට ඉස්සර රාජ්‍ය ආයතන විකුණන්න හැදුව ‘පර්ක්’ ආයතනයෙන් පත්තර පිටු පුරවා දැන්වීමක් පළ කළා. ”එහි කොටසක් ඔබටත් ඇත” කියලා. පෙරදිග බන්ධනාගාරයක අපි හැමෝම හිරකරලා ඉන්න බව අපි තේරුම් ගන්නවා නම්, මේක බිඳින්න ඕනෑ කියලා කල්පනා කරනවා නම් ඒක කැනබීස් යෝධයාට බාර දෙන්න බැහැ. අපිටත් කොටසක් තිබෙනවා. ඒකට එකතු වෙනවා. අපි හැමෝම විවිධ අඩුපාඩුකම් සහිත මිනිසුන්. අපි කවුරුත් ‘දියසෙන් කුමාරයෝ නොවෙයි.

පෙරදිග බන්ධනාගාරය බිඳින්න ඕනෑ කියන කූට ප‍්‍රාප්තිය එක පැත්තකින් ගේන අතර අනික් පැත්තෙන් ඒ වැඩේ කැනබීස් යෝධයා කියන ඊනියා ගැලවුම් කාරයෙකුට බාර දෙනවා. මේ කවියට මගේ නොමද ප‍්‍රසාදයත් නොමද ප‍්‍රහාරයත් දෙකම එකවිට එල්ල කරන්නේ මෙන්න මේ නිසයි. 2022 මැයි 09 වෙනිදායින් පස්සේ අපි කවුරුත් ගත කරන නොනගත කාල සීමාවේදී ”නව සංස්කෘති මිනිසෙකු” බිහි කිරීමට අදාළ අත්තිවාරම නිවැරදිව දාන්න ඕනෑ. ඒ වෙනුවෙන් නිවැරදි දැක්මක් අපි තුළ ඇතිකර ගන්න ඕනෑ.

දැන් මම ඉවර කරන්නම්. 1833 කෝබෲක් සාමීගේ ඉඳලා පාලකයන් ගෙන යන්නේ බලය ලබාගැනීමත් පවත්වා ගෙන යාමත් හමුවේ අපිව බෙදා වෙන්කර නන්නත්තාර කර දැමීමයි. ”පෙරදිග බන්ධනාගාරය” බිඳින්න කැනබීස් යෝධයාට පවරන්න තරම් අපි නන්නත්තාර කරලා තියෙන්නේ. මේ මහා ක්‍රියාදාමය තුළයි. ”පෙරදිග බන්ධනාගාරය” බිඳින්න ඕනෑ. අපි හැමෝම අපිට කොටසෙක් ඒකෙි බාර ගන්න ඕනෑ. කුලුගෙඩි පහර දෙන්න ඕනෑ. පෙරදිග බන්ධනාගාරයක අපි හැමෝම හිරකරලා ඉන්න බව අපි තේරුම් ගන්නවා නම්, මේක බිඳින්න ඕනෑ කියලා කල්පනා කරනවා නම් ඒක කැනබීස් යෝධයාට බාර දෙන්න බැහැ. අපිටත් කොටසක් තිබෙනවා. ඒකට එකතු වෙනවා. අපි හැමෝම විවිධ අඩුපාඩුකම් සහිත මිනිසුන්. අපි කවුරුත් ‘දියසෙන් කුමාරයෝ නොවෙයි. පෙරදිග බන්ධනාගාරය බිඳින්න ඕනෑ කියන කූට ප‍්‍රාප්තිය එක පැත්තකින් ගේන අතර අනික් පැත්තෙන් ඒ වැඩේ කැනබීස් යෝධයා කියන ඊනියා ගැලවුම් කාරයෙකුට බාර දෙන්න බැහැ.

මේ මහා ක්‍රියාදාමය, යටි තලයේ දිය වැල් වගේ නුරබායි, ආනන්ද කුමාරස්වාමි, පොන්නම්බලම් අරුණාචලම්, පොන්නම්බලම් රාමනාදන්, මොහොමඩ් සාලි, ඩී.ජේ විමල සුරේන්ද්‍ර, සේනක බිබිලේ ආදී කඩඉම් චරිත ඔස්සේ මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතය වඩාත් ඉහළ නැංවීමේ අනවතර ක්‍රියාවලියක් එනවා. ඒ අතර 1977 නව ලිබරල් ආර්ථිකය හඳුන්වාදීම. ඒකේ පතුලේ තියෙන්නේ ”බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න ඕනෑ” කියන එක. අද වෙනකොට බල්ලො මරලා හරි නොවෙයි ”අම්මව විකුණලා හරි සල්ලි සල්ලි හොයන්න ඕනෑ” කියන ආදර්ශ පාඨය තියෙන්නේ. මේ ආර්ථික ආදර්ශ පාඨය යට තිබෙන සංස්කෘතික ආදර්ශ පාඨය ”ආච්චි උනත් මොකද හොඳට ලව් කරනවා නම්” කියන එක.

නූතන සංස්කෘතික මිනිසා ‘පෙරදිග බන්ධනාගාරය’ බිඳ දැමීම හරියටම කරන්න ඕන නම් ‘අම්මව විකුණලා හරි සල්ලි හොයන්න ඕනෑ’ කියන ආර්ථික අත්තිවාරමේ ආදර්ශ පාඨයක්. ‘ආච්චි වුනත් මොකද හොඳට ලව් කරනවා නම්’ කියන සංස්කෘතික ජීවිතයේ පාදඩ ආදර්ශ පාඨයත් දෙකම එකවර අහෝසි කරන්න ඕනෑ. අන්න ඒ දැක්ම සහිතව ක්‍රියා කරන නව සංස්කෘතික මිනිසෙක් බිහි කිරීමේ ගර්භනී අවදිය 2022 මැයි 09 වෙනිදායින් උදාවී ගෙවී යමින් තිබෙනවා. ‘ධූමලාවන්‍යාගාරය’ කවි සරණිය අපි කියවා ගත්තේ මෙන්න මේ ගර්භනී සමයේ අත්‍යාවශ්‍ය ක්‍රියාකාරී කමක් හැටියට.

නන්දිමිත්‍රගේ සතියේ සටහන

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්