කළු සල්ලි ජාවාරම්කරුවන්ට රු. කෝටි 20,000 කප්පමක්

කළු සල්ලි ජාවාරම්කරුවන්ට රු. කෝටි 20,000 කප්පමක්

බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ජූලි 09 වෙනිදා ගැසට් පත්‍රයක් මගින් එළිදක්වන ලද මුදල් පනත් සංශෝධනය අනුව කළු සල්ලි ජාවාරම් කරුවන්ට රුපියල් කෝටි 20,000ක පමණ කප්පම් මුදල් ආණ්ඩුවෙන් ලැබෙන බව අනාවරණය වී තිබේ.

මෙම මුදල් සංශෝධන පනත පිළිබඳව පසුගිය සති අන්තයේ පුවත්පත් ගණනාවක විශ්ලේෂනාත්මක තොරතුරු ලිපි පල කර තිබිණි. එම ලිපිවලින් හෙළිකර තිබෙන්නේ මෙම කළු සල්ලි ජාවාරම්කරුවන්ට 14% සිට 28% දක්වා විශාල බදු ප්‍රමාණයක් කපාහැරීම මෙම පනත මගින් සිදුවනු ඇති බවය. මෙතරම් බදු මුදලක් කපාහැර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට 1%ක මුදලක් පමණක් ලබාගැනීමට යෝජිත සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කර ඇත.

මෙයට පෙර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේ 2002 වසරේදී සහ 2005, 2006 මුදල් වර්ශවලදීද මෙවැනිම බදු සහන කළු සල්ලි ජාවාරම් කරුවන්ට ලබා දුන් බව එම විශ්ලේෂණ මගින් හෙළි කර තිබේ. එහෙත් එම ආණ්ඩු අපේක්ෂා කළ පරිදි කළු සල්ලි ප්‍රමාණයක් නිල ආර්ථිකයට එකතු නොවුණු බවද සඳහන් කර ඇත. ඒ වෙනුවට බදු ගෙවමින් සිටින පිරිස් අධෛර්ය මත් වූ බව එම ලිපි මගින් පෙන්වා දී තිබේ.

මීට අමතරව වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණු වහාම ආදායම් බදු ගෙවීම සඳහා නව ඉපයීම් සීමා එළි දැක්වීම නිසා එම බදුකරුවන් ලක්ෂයකට වැඩි පිරිසක් නිදහස් වූ බවද හෙළි කර ඇත. 2020 ජනවාරි දක්වා ආදායම් බදු ගෙවීමේ මූලික පදනම වූ රුපියල් ලක්ෂ 06ක වාර්ශික ආදායම එක් වරම රුපියල් ලක්ෂ 30 දක්වා පස්ගුණයකින් ඉහළ දමනු ලැබීය. මේ නිසා එතෙක් ආදායම් බදු ගෙවූ ලක්ෂයකට අධික පිරිසක් එම බදු ගෙවීමෙන් නිදහස් කර ඇති බව හෙළි වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්