කවර වර්ගයේ හෝ ජාතික ගැටුමකට අපි ඉඩ තියන්නේ නැහැ

“අපේ රට අවුරුදු 30ක යුද්ධයකට මුහුණ දුන්නා. මිය ගිය ප‍්‍රමාණය දන්නෙත් නැහැ. විනාශ වූ දේපළ පිළිබඳ දන්නේ නැහැ. ලේවලින් මේ පොළව තෙමුණා. කඳුළුවලින් මේ පොළව හේදුනා. ඉතිහාසයේත් බලය වෙනුවෙන් බලය පවත්වාගෙන යෑම වෙනුවෙන් විටෙක සිංහල ජාතිවාදය විටෙක දෙමළ ජාතිවාදය විටෙක මුස්ලිම් ජාතිවාදය උත්සන්න කළා. ඒ සඳහා උතුරේ, දකුණේ, නැගෙනහිර සාමාන්‍ය අම්මා තාත්තගේ දරුවන් වගකිව යුතු නැහැ. උතුරෙත් දකුණෙත් බලය වෙනුවෙන් ජාතිවාදය වැපුරුවා. යුද්ධයකට ඇද දැමුවා. ඒ යුද්දෙන් මැරුණේ සාමාන්‍ය අම්ම තාත්තගේ දරුවන්. උතුරේ පමණක් යුධ වැන්දඹුවන් හතලිස්දාහක් ඉන්නවා. අම්මා තාත්තා දෙන්නම අහිමි දරුවෝ 2500ක් ඉන්නවා. එනිසා මේ යුද්ධය මිනිසත් බව, සමගිය ජීවිත, දේපොළ නැති කළා. ඒ පොදු ජනයාගේ ජීවිතයි. පාලකයින්ගේ ජීවිත නැතිවුණේ නැහැ. ඔවුන් ජාතිවාදය වපුරනවා. ගැටුම් නිර්මාණය කරනවා. දේපොළ එක්රැස් කරනවා. ඔවුන් ජාතිවාදය වපුරනවා. ඔවුන් බලය හොබවනවා. එනිසා කවර ආකාරයේ හෝ යුද්ධයකට අපේ රට නැවත ඇද දැමිය යුතු නැහැ. සිංහ ලේ කියනවා, දෙමළ ලේ කියනවා මුස්ලිම් ලේ කියනවා. නමුත් අපිට තිබෙන්නේ මනුසත් ලේ. අපිට අරගලයක් තිබෙනවා කවර ආකාරයේ හෝ ජාතිවාදයකට එරෙහිව. සමාජවාදී තරුණ සංගමයත් ජනතා විමුක්ති පෙරමුණත් අපේ රටේ සක‍්‍රීයව ඉන්නතාක් කල් සහතික වශයෙන් තව කවර වර්ගයේ හෝ ජාතික ගැටුමකට ඉඩ තියන්නේ නැහැ. එකිනෙකා දිහා වෛරයෙන් ක්‍රෝධයෙන් බලන සමාජයක් අපිට ඕනද? සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු දෙනා එකට මනුසත්වයෙන් ජීවත්වන රටක් ගොඩනැගිය යුතුයි. සමාජවාදී තරුණ සංගමය මේ රටේ ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් සුවිශේෂී කාර්යබාරයක් ඉටුකර තිබෙනවා. ඒ හැකියාව තරුණ සංගමයට තිබෙනවා. මේ ඓතිහාසික සමුළුවට යාපනයෙන්, වව්නියාවෙන්, කිලිනොච්චියෙන් මඩකලපුවෙන් ති‍්‍රකුණාමලයෙන්, අම්පාරෙන්, හම්බන්තොටින් මාතරින් සියලු පෙදෙස් සියලු ජාතිකත්ව නියෝජනය කරමින් සමාජවාදී තරුණ සංගමයේ තරුණ තරුණියන් පැමිණ තිබෙනවා. මේ සමුළුව තමයි ජාතික සමගියේ සංකේතය. භාෂාව අනුව, ආගම අනුව, සංස්කෘතිය අනුව බෙදීමක් ඕනද? එවැනි බෙදීමකට ඉඩ නොතැබිය යුතුයි. තරුණයා වෙත ජාතිවාදයට එරෙහි පණිවිඩය ගෙනයෑමේදී තරුණ සංගමයට සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා. එය ජයග‍්‍රහණය කළ හැකියි.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සමාජවාදී තරුණ සංගමයේ 03 වන ජාතික සමුළුව අමතමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා…

“අපේ රටේ අනාගතය කවර මාවතක ගෙනයා යුතුද යන්න තීරණය කරන මේ රටේ තාරුණ්‍ය තමයි අද මේ සුගතදාස ක‍්‍රීඩාංගණයට රැස්ව සිටින්නේ. අප හිතනවා සමාජවාදී තරුණ සංගමය විසින් පවරාගන්නා ලද, ඔවුන්ට පැවරී තිබෙන කාර්යභාරය ඉතාම සුවිශේෂී කියලා. මේ තුන්වන ජාතික මහ සමුළුව එම කාර්යභාරය සාර්ථකව නිමා කිරීමේ ආරම්භක ප‍්‍රභල පියවර කියලා අප විශ්වාස කරනවා. අපේ රට, අපේ ලෝකය තවදුරටත් මේ විදියට ඉදිරියට ගමන් කළ යුතුද? ධනවාදය ඉතිහාසයේ මුහුණ දුන් දැවැන්තම කඩාවැටීමට ලක්ව සිටිනවා. 2008දී ඇමරිකාවෙන් පටන් ගන්නා ලද ආර්ථික කඩාවැටීම ඩොමිනෝ ආකාරයෙන් සියලු රටවල්වලට පැතීරී යනවා කියලා එවකට ජනාධිපති ජෝරජ් බුෂ්ට පවා කියන්න සිදුවුණා. ඒ ධනවාදයේ පීතෲන් ලෙස පෙනී ඉන්න ඇමරිකානු ජනාධිපතිවරයාගේ හඬ. මහා බි‍්‍රතාන්‍යයේ මහ බැංකු අධිපති කිව්වා 1929න් පසුව බි‍්‍රතාන්‍ය දැවැන්තම ආර්ථික සමාජ බිඳවැටීමකට ලක්ව තිබෙන බව. එරටේ අධ්‍යාපනයට, සෞඛ්‍යට වෙන්කරන ලද ප‍්‍රතිපාදන කපන්න සිදුවන බව ඔහු පැවසුවා. ග‍්‍රීසිය ලෝකයේ කඩාවැටුණු රාජ්‍ය ලෙස නම් කර හමාරයි. ස්පාඤ්ඤය කම්කරු වැටුප 5%කින් කපන යෝජනා ගෙනත් තිබෙනවා. පෘතුගාලයේ කම්කරුවෝ පාර්ලිමේන්තුව වටලනවා. ඉතාලියේ කර්මාන්ත ශාලා වැසෙමින් යනවා. ජනතාවට රැකියා අහිමිවෙනවා. ලෝක පරිමාණයෙන් ධනාවදය අර්බුදයට යමින් ඉන්නවා. ධනවාදයට තිබෙන එකම විසඳුම පරිධියේ රටවල් සූරාකෑම පමණයි. යුධ, ආක‍්‍රමණ, ගැටුම් හැර ධනවාදයට මිනිසුන් සුවපත් කිරීමේ මගක් නැහැ. ඒ කඩාවැටුණු ධනවාදය ඇතුළේ තමයි අද ශ‍්‍රී ලංකාව තිබෙන්නේ.

දැන් ලංකාවේ ගැටලුව මොකක්ද? අපේ රටේ සියලු ජනයා තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය, රැකියා, තමන්ට ඉන්න තැනක් පිළිබඳව නිරෝගී සම්පන්න ජීවිතයක් ගැන, මානසික සුවයක් ගැන හූල්ලමින් සිටිනවා. ගොවි ජනතාව, රාජ්‍ය පෞද්ගලික ජනතාව, ධීවර ජනතාව වතු ජනතාව තරුණයා, වැඩිහිටියා, දරුවා මේ හැමදෙනාම අධ්‍යාපනය, ආදායම වෙනුවෙන්, ඉන්න හිටින්න තැනක් වෙනුවෙන්, මානසික සුවයක් වෙනුවෙන් හඬ නගමින් සිටිනවා. සතිශය ජනතාවගේම මූලික උවමනාවන් ඉටුකරන්න නොහැකි වුණු බෙලහීන කඩාවැටුණු රාජ්‍යයක් අප හමුවේ තිබනෙවා. ඒ රාජ්‍ය ඇතුලේ තරුණයා මිනිස් දූවිලි බවට පත්කොට තිබෙනවා. එක් වසරකදී තුන්ලක්ෂ හැටදාහක් පමණ පළමු වසරට ඇතුල් වෙනවා. සාපෙළට කලින් වසරකට හැටදහක් පාසල් අත් හරිනවා. ඔවුන්ගේ ජීවිතවලට මොකද වෙන්නේ. උසස්පෙළ පෙනී සිටින ළමුන්ගෙන් ලක්ෂ දෙකක් පමණ සමත් වුණත් විසිපන්දහසකට ආසන්න ප‍්‍රමාණයක් පමණයි විශ්වවිද්‍යාලවලට බඳවාගන්නේ. දොළහෙන් එකකට පමණයි උසස් අධ්‍යාපනය හිමිවන්නේ. අධ්‍යාපනය අත්හැරෙන තරුණයට අත්වන ජීවිතය කුමක්ද? අපේ රටේ වසරකට ශ‍්‍රම වෙළඳපොළට 330,000ක් ඇතුල් වෙනවා. පෞද්ගලික අංශයේ රැකියා 35000යි වසරකට බිහි වෙන්නේ. රාජ්‍ය අංශයේ විශ‍්‍රාම යන්නේ 60,000යි. වසරකට ලක්ෂ දෙකකට වැඩි ප‍්‍රමාණයක් විරැකියාවෙන් පෙළෙන රාජ්‍යක්. තරුණයන්ගෙන් ආසන්න වශයෙන් ලක්ෂ 31ක් විරැකියාවෙන් හෝ ඌණ රැකියා තත්වයෙන් පෙළෙන සමාජයක් බවට පත්වෙලා. තමන්ගේ ජීවිතය ගෙවන්න තරුණයට ආදායමක් නැත්නම් ඔහුගේ ජීවිතය ගමන් කරන්නේ කවර දිශාවකටද? 2014දී විදෙස් රැකියාවලට තුන්ලක්ෂ හාරදහසක් රටින් පිටව ගොස් තිබෙනවා. මෙයින් 4%ට අඩු ප‍්‍රමාණයක් තමයි වෘත්තීය රැකියාවලට ගියේ. අනෙක් සියල්ල ගෘහ සේවිකාවන්. අධ්‍යාපනය, රැකියාව නැත්නම් තරුණයන්ට ජීවිතයක් තිබෙනවද? එය තමයි අපේ රටේ බහුතරයක ජීවිතය වෙලා තිබෙන්නේ.

නමුත් අපේ රටේ පාලකයින්ගේ දරුවන්ගේ ජීවිත මොන වගේද? අධ්‍යාපන ඇමතිගේ දරුවන්වත් මේ රටේ ඉගෙන ගන්නේ නැහැ. සෞඛ්‍ය ඇමති මේ රටෙන් බෙහෙත් ගන්නේ නැහැ. ක‍්‍රීඩාව පාලකයින්ගේ දරුවන්ට. පාලකයින්ගේ දරුවන්ගේ ජයග‍්‍රහණ වෙනුවෙන් ඝාතනයන් පවා කරනවා. තාජුදීන්ගේ ඝාතනය එවැනි එකක්. ඔවුන්ගේ දරුවන්ගේ ආදායම වෙනුවෙන් රටේ තරුණයන් මංමුලා කරනවා. ඒ නිසා අපේ රටේ තරුණයින්ට තමන්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටනක් තිබෙනවා. අපිට ජීවිතයක් අවශ්‍ය නැද්ද? මානසික සුවයක්, විනෝදයක් අවශ්‍ය නැද්ද? එනිසා තරුණ පරම්පරාවට යළි ජීවිතය කැඳවාගෙන ආ යුතුයි. ජීවිතය හා අනාගතය වෙනුවෙන් සමාජවාදය අවශ්‍ය වන්නේ ඒ නිසයි. එම කාර්යභාරය වෙනුවෙන් තරුණයන්ට විශාල වගකීමක් තිබෙනවා.

අපට ජීවත් වෙන්න යහපත් සමාජයක් තිබෙනවද? අපේ රටේ දිනකට සියදිවි නසාගන්නා ගණන 14ක්. ලෝකයේ තුන්වෙනි ස්ථානය. දිනකට 280ක ප‍්‍රමාණයක් සියදිවි නසාගන්න උත්සහ කරනවා. අවු. 10-29ත් අතර තරුණයින් තමයි වැඩි වශයෙන් සියිදිවි නසාගන්න පෙළඹිලා තිබෙන්නේ. අපිට සියදිවි නසාගන්න බලකරන සමාජයක් බවට මේ සමාජය පත්වෙලා. පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසය දක්වා මාස 11 තුළ වාහන අනතුරුවලින් 5200ක් පමණ මියගොස් තිබෙනවා. සිතිශය බහුතරය තරුණ තරුණියන්. මාරාන්තික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ලක්ෂයක් පමණ ඉන්නවා. එහෙම කියන්නේ සංඛ්‍යා ලේඛන. අපි හිතනවා ඊට වඩා වැඩියි කියලා. සෑම නිවෙස් පනහකටම එක් සිරකරුවෙක් ඉන්නවා. මොකක්ද අපිට උරුම කරලා තිබෙන සමාජය. මේ සමාජයට ඉදිරියට යන්න පුළුවන්ද? ඒ නිසා මේ සමාජය අනිවාර්යෙන්ම වෙනස් කළ යුතුයි. එම කාර්යභාරයේදී මේ රටේ තාරුණය නියෝජනය කරන සමාජවාදී තරුණ සංගමය එහි ප‍්‍රබලතම වැඩකොටස ජයග‍්‍රාහීව නිම කළ යුතුව තිබෙනවා. අපේ දරුවන්, අපේ අනාගතය මෙවැනි සමාජයකට භාරකළ යුතුද? ඒ නිසා අභියෝගය අප ඉදිරියේ තිබෙනවා.

අපේ රට අවුරුදු 30ක යුද්ධයකට මුහුණ දුන්නා. මිය ගිය ප‍්‍රමාණය දන්නෙත් නැහැ. විනාශ වූ දේපළ පිළිබඳ දන්නේ නැහැ. ලේවලින් මේ පොළව තෙමුණා. කඳුළුවලින් මේ පොළව හේදුනා. ඉතිහාසයේත් බලය වෙනුවෙන් බලය පවත්වාගෙන යෑම වෙනුවෙන් විටෙක සිංහල ජාතිවාදය විටෙක දෙමළ ජාතිවාදය විටෙක මුස්ලිම් ජාතිවාදය උත්සන්න කළා. ඒ සඳහා උතුරේ, දකුණේ, නැගෙනහිර සාමාන්‍ය අම්මා තාත්තගේ දරුවන් වගකිව යුතු නැහැ. උතුරෙත් දකුණෙත් බලය වෙනුවෙන් ජාතිවාදය වැපුරුවා. යුද්ධයකට ඇද දැමුවා. ඒ යුද්දෙන් මැරුණේ සාමාන්‍ය අම්ම තාත්තගේ දරුවන්. උතුරේ පමණක් යුධ වැන්දඹුවන් හතලිස්දාහක් ඉන්නවා. අම්මා තාත්තා දෙන්නම අහිමි දරුවෝ 2500ක් ඉන්නවා. එනිසා මේ යුද්ධය මිනිසත් බව, සමගිය ජීවිත, දේපොළ නැති කළා. ඒ පොදු ජනයාගේ ජීවිතයි. පාලකයින්ගේ ජීවිත නැතිවුණේ නැහැ. ඔවුන් ජාතිවාදය වපුරනවා. ගැටුම් නිර්මාණය කරනවා. දේපොළ එක්රැස් කරනවා. ඔවුන් ජාතිවාදය වපුරනවා. ඔවුන් බලය හොබවනවා. එනිසා කවර ආකාරයේ හෝ යුද්ධයකට අපේ රට නැවත ඇද දැමිය යුතු නැහැ. සිංහ ලේ කියනවා, දෙමළ ලේ කියනවා මුස්ලිම් ලේ කියනවා. නමුත් අපිට තිබෙන්නේ මනුසත් ලේ. අපිට අරගලයක් තිබෙනවා කවර ආකාරයේ හෝ ජාතිවාදයකට එරෙහිව. සමාජවාදී තරුණ සංගමයත් ජනතා විමුක්ති පෙරමුණත් අපේ රටේ සක‍්‍රීයව ඉන්නතාක් කල් සහතික වශයෙන් තව කවර වර්ගයේ හෝ ජාතික ගැටුමකට ඉඩ තියන්නේ නැහැ. එකිනෙකා දිහා වෛරයෙන් ක්‍රෝධයෙන් බලන සමාජයක් අපිට  ඕනද? සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු දෙනා එකට මනුසත්වයෙන් ජීවත්වන රටක් ගොඩනැගිය යුතුයි. සමාජවාදී තරුණ සංගමය මේ රටේ ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් සුවිශේෂී කාර්යබාරයක් ඉටුකර තිබෙනවා. ඒ හැකියාව තරුණ සංගමයට තිබෙනවා. මේ ඓතිහාසික සමුළුවට යාපනයෙන්, වව්නියාවෙන්, කිලිනොච්චියෙන් මඩකලපුවෙන් ති‍්‍රකුණාමලයෙන්, අම්පාරෙන්, හම්බන්තොටින් මාතරින් සියලු පෙදෙස් සියලු ජාතිකත්ව නියෝජනය කරමින් සමාජවාදී තරුණ සංගමයේ තරුණ තරුණියන් පැමිණ තිබෙනවා. මේ සමුළුව තමයි ජාතික සමගියේ සංකේතය. භාෂාව අනුව, ආගම අනුව, සංස්කෘතිය අනුව බෙදීමක් ඕනද? එවැනි බෙදීමකට ඉඩ නොතැබිය යුතුයි. තරුණයා වෙත ජාතිවාදයට එරෙහි පණිවිඩය ගෙනයෑමේදී තරුණ සංගමයට සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා. එය ජයග‍්‍රහණය කළ හැකියි.

අපේ සමාජය අවිද්‍යාවෙන් පිරිලා. සාත්තරකරුවන් අද අශ්ව රේස් දානවා. තවත් සමහර අය කියනවා කතරගමට දෙවියෝ වඩිනවා කියනවා. රූපවාහිනී නාලිකාවල උදේට ඇටමාල දාපු අය හක්ගෙඩියක් අරගත් අය රටේ අනාගය ගැන කියනවා. මිත්‍යාවෙන් අවිද්‍යායෙන් පිරුණු රාජ්‍යක් ගොඩනැගෙමින් ඉන්නවා. විවිධ වේශයෙන් මිත්‍යාවට අවිද්‍යාවට මේ සමාජය ඇදගෙන යනවා. එනිසා මේ මිත්‍යාව වපුරන අවිද්‍යාව වපුරන සමාජය වෙනුවට විද්‍යාව කැඳවන සමාජයක් ගොඩනැගීමේ වගකීම තරුණයින්ට පැවරී තිබෙනවා. ඇදහිලි විශ්වාස විවිධ පුරාවෘත සංරක්ෂණය කරමු. ඒ ඉතිහාසයේ වටිනාකම් සඳහා යොදාගමු. නමුත් වත්මන් රටේ ගැටලූ විසඳන්න ඒවා යොදාගෙන ඵලක් නැහැ. එනිසා සමාජවාදී තරුණ සංගමයට අවිද්‍යාවට, මිත්‍යාවට එරෙහිව සටනක් තිබෙනවා.

ඒ වගේම අපිට දේශපාලනික තරුණ ව්‍යාපාරයක් අවශ්‍යයි. මෙය තාත්තා ජනාධිපති වුනාම පුතා ජනාධිපති කරන තරුණ ව්‍යාපාරයක් නොවෙයි. තාත්තා ඇමති වුනාම පුතා මන්ත‍්‍රී කරන තරුණ ව්‍යාපාරයක් නෙවෙයි. තාත්තා මන්ත‍්‍රී වුනාම පුතා ප‍්‍රාදේශීය සභාවට යවන තරුණ ව්‍යාපාරයක් නෙවෙයි. මේ තරුණ ව්‍යාපාරය සමාජය වෙනස් කළ හැකි සමාජවාදයේ කොඩිය අත්නොහැර ජයග‍්‍රහණය තෙක් ඉදිරියට ගෙන යා යුතු ව්‍යාපාරයක් බවට පත්කිරීමේ වගකීම සමාජවාදී තරුණ සංගමය වෙත පැවරී තිබෙනවා. මේ රටේ කලාකරුවන්, සාහිත්‍යධරයින්, බුද්ධිමතුන්, ව්‍යාපාරිකයින්, වෘත්තීය සමිති නියෝජිතයින් ගොවි නියෝජිතයින් වගේම මේ රටේ දේශපාලනය එක්වුණු පුළුල්තම ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුව තිබෙනවා. තවදුරටත් ග‍්‍රාම්‍ය බෙලහීන පැරණි දේශාපාලනයට අපේ රට ඉදිරියට ගෙනියන්න බැහැ. ඒ වෙනුවට නැවුම් දේශපාලනයක්  ඕනෑ. ඒ වෙනුවෙන් දේශපාලන පෙරමුණක් ගොඩනැගෙන්න ඕනෑ. උඩින් වගේම ගම් මට්ටමින් නායකයින් ගොඩනගන්න ඕනෑ. ඒ වෙනුවෙන් තරුණ ජවය කැටුව එන්න ඕනෑ. සමාජ අරගලයේදී ජීවය, ශක්තිය කැඳවන අරගලය සමාජවාදී තරුණ සංගමයට පැවරී තිබෙනවා. මෙම සමුළුවට සහභාගිවී සිටින ඔබ එම කාර්යභාරය තමන්ගේ උරමත පටවා ගත යුතුව තිබෙනවා. ඔබට ඒ හැකියාව, ධෛර්ය හැකියාව ඔබට තිබෙනවා. 

අයුක්තිය ඉදරියේ වකුටුවී බලාගෙන ඉන්න තරුණයා වෙනුවට අයුක්තියට එරෙහිව අරගල කරන තරුණයා ඔබ විය යුතුයි. අසාධාරණයට එරෙහිව සාධාරණය වෙනුවෙන් හ`ඩ නගන තරුණයා, අවිද්‍යාවට එරෙහිව යථාර්ථය වෙනුවෙන් සටන් වදින තරුණයා, අසත්‍ය ඉදිරියේ මුඛවාඩම් බැඳගෙන ඉන්න තරුණයා වෙනුවට සත්‍ය වෙනුවෙන් සටන් කරන තරුණයා අපිට අවශ්‍යයි. ඒ තාරුණයට පමණයි මේ රටත් ලෝකයත් වෙනස් කරන්න පුළුවන්. සමාජවාදී තරුණ සංගමය මේ රට නැවුම් බලාපොරොත්තුවක් කරා නව ගමනකට තාරුණ්‍ය කැඳවගෙන එන මහා පවුරක් මහා ව්‍යාපාරයක් බවට පත්වෙන බව නැසැකයි. එනිසා මේ 03වෙනි ජාතික සමුළුවෙදී එක්රැස් කරගන්නා අවබෝදය, ධෛර්ය, විශ්වාසය, අධිෂ්ඨානය සමග මේ රටේ පුළුල් සමාජ පරිවර්ථනයක් සඳහා පෙළගැහෙන්න කියලා සියලූ දෙනාට ආරාධනා කරනවා. ඔබ පමණක් නෙවෙයි ඔබේ ගමේ තරුණයා ඔබ පමණක් නෙවෙයි මුළු රටේම තාරුණ්‍ය මේ නව මාවතට කැඳවාගෙන ආ යුතුයි. මේ ගමන ජයග‍්‍රහණයෙන් අවසන් කළ හැකියි. මේ සියවසේ වේගයෙන්ම අලූතෙන්ම ගොඩනැගෙන සමාජවාදී රාජ්‍ය ශ‍්‍රී ලංකාව බව නිසැක වශයෙන්ම අපිට කියන්න පුළුවන්. ඒ වෙනුවෙන් කවරදාටත් වඩා වේගයෙන් අවබෝදය ලබාගත් යුතුයි. අභියෝග ජයගත යුතුයි. ඒ වෙනුවෙන් සියලූ දෙනාට සුභ පතනවා. සමාජවාදී තරුණ සංගමයේ 03වෙනි ජාතික සමුළුව දිගුකල් දිනේවා. නව නායකත්ව මණ්ඩලයට මේ රටත් ජනතාවත් නව දේශපාලන ගමන් මගක ගෙන යාම සඳහා ශක්තිය ධෛර්ය ලැබේවා.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්