ජනතාව අතර විශාල පිළිගැනීමකට ලක්ව සිටි කරන්දෙණියේ මහජන සෞඛ්ය පරීක්ෂක දීපාල් රොශාන් කුමාර විතානාච්චි ඝාතනය කර මාසයක් ගත වුවද එම අපරාධකරුවන් අත්තඩංගුවට ගත නොහැකි වී තිබෙන්නේ එය පිටුපස ප්රබල දේශපාල හස්තයක් තිබෙන නිසා දැයි බරපතළ සැකයක් මතුවී තිබේ.
මහජන සෞඛ්ය පරීක්ෂකවරයා ඝාතනය කර මාසයක් සම්පූර්ණ වූ පසු ඒ පිළිබඳව පරීක්ෂණ අත්හැර තිබීම හෝ යට ගසා තිබීම සම්බන්ධයෙන් පසුගිය දා විරෝධථාවයක් ද පැවැත්විනි. එම ඝාතනය සිදු කළ ආසන්න දිනවල මෙය කොන්ත්රාත්තුවක් මත සිදු කර ඇති බවට විමර්ශකයන් අනුමාන කරනු ලැබීය.
එසේ ම, කරන්දෙණිය හමුදා කඳවුරට අයත් T56 ගිනි අවි ඝාතක කණ්ඩායම්වලට කුලී පදනමින් ලබා දීම පිළිබඳව තොරතුරු ද එයට පෙර අනාවරණය වී තිබිණි. නමුත් මේ පිළිබඳ පරීක්ෂණ පිළිබඳ කරුණු හෙළිවී නොතිබිණි.
මහජන සෞඛ්ය පරීක්ෂකවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් CCTV දර්ශන 100ක් පරීක්ෂා කර අවසන් බව පෙබරවාරි 29 වෙනි දින ආණ්ඩුවේ දිනමිණ පුවත්පත වාර්තා කරනු ලැබීය. එසේ ම, පෙබරවාරි 28 වෙනි දින එම පුවත්පත වාර්තා කර තිබුණේ ඝාතකයන් අල්ලා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 18ක් ම යොදවා ඇති බව ය.
අදාළ පොලිස් කණ්ඩායම් 18 යෙදවීම මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පොලිපති දේශබන්දු තෙන්නකෝන්ගේ ඍජු මැදිහත්වීමෙන් කරන ලද බව අදාළ ප්රවෘත්තියේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.
මෙවැනි පසුබිමක මේ දක්වා අපරාධයට සම්බන්ධ කිසිවෙකුත් අත්තඩංගුවට ගැනීමට නොහැකි වී ඇත්තේ එම ඝාතනය පිටුපස ප්රබල දේශපාලන හස්තයක් ක්රියාත්මක වන නිසා දැයි බරපතළ සැකයක් මතු වී ඇත.

කරන්දෙණිය යුද හමුදා කඳවුරෙන් ආයුධ පිට කිරීම පිළිබඳව 2023 ඔක්තෝබර් 08 වෙනි දින “අද“ පුවත්පතේ වාර්තාව උපුටා ගෙන පහතින්
යුධ හමුදා කඳවුරක ටී. 56 ගිනි අවියක් අතුරුදන්
ශ්රී ලංකා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායට අයත් කරන්දෙණිය කොහිල වගුර යුධ හමුදා කදවුරෙහි ටී 56 වර්ගයේ ගිනි අවියක් අස්ථානගත වීම සම්බන්ධයෙන් අද (8) පැමිණිල්ලක් ලැබුණු බව කරන්දෙණිය පොලීසිය කියයි.
කරන්දෙණිය ලංකා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා යුධ හමුදා කදවුරෙහි දෙක ලුතිතන් දිනිති උදාරා මලලගේ යන අය විසින් මේ පැම්ණිල්ල දැමූ බව ද පොලීසිය කියයි.
2023 ඔක්තෝම්බර මස 06 වන දින තමන් කදවුරේ රාජකාරි භාර නිළධාරියා වශයෙන් රාජකාරි නිරතව සිටි බවත්, එදින යුධ හමුදා කදවුරේ අවි ගබඩා පාලක ලෙස රාජකාරි කරනු ලබන හමුදා නිළධාරියා විසින් මේ ගිනි අවිය අස්ථානගතවීම සම්බන්ධයෙන් දැනුම් දීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් පැමිණිලි කර බව ද පොලීසිය කියයි.
අදාල සිද්ධිය සම්බන්ධව කදවුර භාර නිළධාරි මේජර් J.C.K .සුබසිංහ නිළධාරියා දැනුවත් කර ඇති බවත් අනතුරුව බූස්ස යුධහමුදා පොලිස් කදවුර දැනුවත් කිරීමෙන් අනතුරුව 2023.10.06 වන දින අවි ගබඩා පාලකවරයා ලෙස සිටි හමුදා නිළධාරියා යුධහමුදා පොලිස් බලකාය බාරයට ගෙන රදවා තබාගෙන ඇති බවටත්, අදාල පැමිණිල්ල මගින් සදහන් කර තිබෙන බවද පොලීසිය කියයි.
මේ ටී 56 ගිණි අවිය අස්ථානගතවීම සම්බන්ධව කරන්දෙණිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු අපරාධ අංශයේ නිළධාරින් මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.










