ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමණාකරණ අධ්යක්ෂගේ සියළු දීමනා සහිත මාසික වැටුප රුපියල් දොලොස්ලක්ෂ හැත්තෑඑක්දාහක් (රු. 1,271,000) වන බව අනාවරණය වේ. එමෙන්ම විධායක අධ්යක්ෂකවරයාගේ සියළු දීමනා සහිත මාසික වැටුප රුපියල් අටලක්ෂ විසිහතරදාහක් (රු. 824,000)වේ. මෙම සංස්ථාවේ සභාපතිධූරය මේ වනවිට හිස්ව තිබෙන අතර මුල්පෙළේ මෙම අධ්යක්ෂවරුන් සංස්ථාව මෙහෙයවමින් සිටී. ඉතිහාසයේ පළමුවරට පසුගිය අප්රේල් මස අවසන් වනවිට සංස්ථාව රුපියල් කෝටි 96ක් බැංකුවලට ණය වී ඇතිබව අනාවරණය වේ.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ මහතා විසින් පාර්ලිමේන්තුවේදී අසන ලද ප්රශ්නයකට මුදල් නියෝජ්ය ඇමති ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් ලබා දෙනලද පිලිතුරකින් මේ බව හෙළිවේ. ශ්රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලික අංශයට දී තිබී බදු කාලය අවසන් වීමෙන් පසු රජයට පවරා ගන්නා ලදි. ඉන් පසුව ඉහළ නිලධාරීන්ට සුවිශේෂී වරප්රසාද ලබා දුන් අතර සේවක අතිරික්තයක් ඇති බව පවසමින් විශාල පිරිසක් විශ්රාම ගැන්වීය. මේවනවිට සංස්ථාවේ වංචා දූෂණ පිළිබඳවද හෙළිදරව් වෙමින් තිබෙන අතර මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ඉහළ නිලධාරීන් මේ ආකාරයේ විශාල වරප්රසාද ලබා ගනිමින් සිටී.









