අභිරහස් ලෙස මියගිය ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේනගේ මරණයට අදාළ මහේස්ත්රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය අද (22) හතරවන දිනටත් කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන හමුවේ හමුවේ කැඳවනු ලැබීය.
මෙහිදී, මරණයට අදාළ විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින්, මියගිය කපිල චන්ද්රසේන පදිංචිව සිටි නිවසේ තිබී ඔහුගේ මුදල් පසුම්බි දෙකක් හමුවී ඇති බව සඳහන් කර තිබේ.
ඔහුගේ නිවසේ සේවය කළ සේවිකාවක විසින් එම නිවස පිරිසිදු කිරීමේදී මෙම මුදල් පසුම්බි දෙක හමුවී ඇති බවත්, කපිල චන්ද්රසේනගේ කාමරය අසළ සාලයක් වැනි කොටසක වැටී තිබී මෙය හමුවී ඇති බවත් පොලිසිය සඳහන් කර ඇත.
එම මුදල් පසුම්බිවල තිබී විවිධ බැංකුවලට අයත් බැංකු කාඩ්පත් තුනක් සොයාගෙන ඇති බව පොලිසිය අනාවරණය කර ඇති අතර, එම බැංකු කාඩ්පත් අක්රිය කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.
මෙහිදී, මරණකරුගේ ජංගම දුරකථනය විවෘත කිරීමට ගෙන ඇති ක්රියාමාර්ග කවරේදැයි මහේස්ත්රාත් පොලිසිය වෙත ප්රශ්නයක් යොමු කරමින් විමසා ඇත.
ඊට පිළිතුරු දෙමින් පොලිසිය කියා ඇත්තේ, අදාළ ජංගම දුරකථනය විවෘත කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවය.
එයට ප්රතිචාර ලෙස, “ඉදිරි විමර්ශන සිදු කිරීමට මේ ජංගම දුරකථනය විවෘත කිරීම අවශ්යයි. විමර්ශන ප්රමාද වෙන්නේ ඇයි? මෙම විමර්ශන කඩිනමින් සිදු කිරීමට උත්සාහ කරන්න.” යනුවෙන් මහේස්ත්රාත් විවෘත අධිකරණයේදී පවසා තිබේ.
මහේස්ත්රාත්වරයා තවදුරටත් පොලිසිය වෙත කරුණු දක්වමින්, “පසුගිය වැඩිදුර වාර්තාවේ සඳහන් කර තිබුණා, මරණකරු මියගිය නිවස අවට CCTV දර්ශන පරීක්ෂා කළා කියලා. එම පරීක්ෂාවේදී බාහිර පුද්ගලයන් අදාළ නිවසට ඇතුළු වී නැති බවයි වාර්තා කර තිබුණේ. නමුත් පසුගිය වතාවේ නිවසේ සේවිකාවක් ලබාදුන් සාක්ෂියක ප්රකාශ කර තිබුණා, එම නිවස තුළ කිසියම් පුද්ගලයකු සිටි බවට…” යනුවෙන් ප්රශ්න කර ඇත.
ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ, “ස්වාමීනී, මෙම නිවසට රථ ගාල් දෙකකින් ඇතුළු වීමට හැකියාව තිබෙනවා. ඒ අවට තිබෙන CCTV දර්ශන පරීක්ෂා කළා. එහිදී අනාවරණය වුණේ එම දොරටු තුළින් බාහිර පුද්ගලයන් මෙම නිවසට පැමිණ නොමැති බවයි,” යන්නයි.
පසුගිය වැඩිදුර වාර්තාවේ සටහන් කළේ එම කාරණය බව පොලිසිය මෙහිදී පෙන්වා දී ඇත.
මෙම නිවසට ඇතුළු විය හැකි දොරටු තුනක් ප්රධාන මාර්ගයට යාබදව පවතිනවා නොවේදැයි මෙහිදී මහේස්ත්රාත්වරයා පොලිසිය වෙත තවත් ප්රශ්නයක් යොමු කරමින් විමසා ඇති අතර, Google Maps ආශ්රයෙන් ඒ පිළිබඳව පරීක්ෂා කර බලා අධිකරණයට දැනුම් දෙන ලෙසට මහේස්ත්රාත් කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර තිබේ.
ඒ අනුව, ප්රධාන මාර්ගය ඔස්සේ අදාළ නිවසට පිවිසිය හැකි එක් දොරටුවක් පමණක් පවතින බවයි අදාළ සිතියම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.
ඉන් අනතුරුව සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ අතර, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ රොහාන් චමිල් අමරදාස නමැත්තෙකු සාක්ෂි ලබා දුන්නා.
“පසුගිය 06 වැනිදා මම මියගිය කපිල චන්ද්රසේන මහතාට අලුත්කඩේ උසාවියේදී ඇප තැබුවා. මම අරවින්ද මහත්තයව කාලයක් තිස්සේ හඳුනනවා. අරවින්ද මහත්තයා මැයි 05 වැනිදා මට කතා කළා. ‘චමිල් මට ලොකු උදව්වක් ඕන, ඇපයක් අත්සන් කරන්න තියෙනවා, ග්රාම නිලධාරී සහතිකයකුත් අරගෙන එන්න පුළුවන්ද?’ කියලා ඇහුවා. පසුව මම ග්රාම නිලධාරී සහතිකයකුත් අරගෙන අරවින්ද මහත්තයාට ඇමතුමක් ලබා දුන්නා. පසුව කිව්වා පසුදින උදේට එයාගේ ගෙදර එන්න කියලා. පසුදා මම ඔහුගේ නිවසට ගියා. පසුව ඔහුගේ වාහනයෙන්ම අලුත්කඩේ උසාවියට ගොස් ඇප තැබුවා,” යනුවෙන් ඔහු පවසා ඇත.
අරවින්ද ද සිල්වාගේ නිවසේදී මියගිය කපිල චන්ද්රසේන හමුවූ ආකාරය ගැනද ඔහු විස්තර කර තිබේ.
“පසුගිය 07 වැනිදා අරවින්ද මහතා මට කතා කරලා කිව්වා, නීතිඥවරයා හමුවෙන්න යන්න ඕන නිසා එන්න කියලා. පස්සේ සවස මම අරවින්ද මහතාගේ නිවසට ගියා. පසුව අපි නීතිඥවරයාව හමුවීමට ගියා. රාත්රියේ ආපසු අරවින්ද මහතාගේ නිවසට පැමිණි පසු ඔවුන් කෑම කලා යන්න කිව්වා. ඒ අවස්ථාවේදී කපිල චන්ද්රසේන මහතා උඩු මහලේ සිට බිමට බහිනවා මම දැක්කා. ඇවිත් කෑම මේසයේ වාඩිවුණා. අරවින්ද මහතා අපිව පෙන්වලා කිව්වා ‘මේ අය තමයි ඔයාට ඇප තිබ්බේ’ කියලා. ඒ අවස්ථාවේදී ‘තෑන්ක්ස් චමිල්’ යනුවෙන් කපිල චන්ද්රසේන මහතා මට ස්තූති කළා,” යනුවෙන් ද සාක්ෂිකරු පවසා ඇත.
ඉන් අනතුරුව අරවින්ද ද සිල්වාගේ කාර්යාලයේ සේවය කරන පෙරුමාල් ගනේෂ් නමැත්තෙකුද සාක්ෂි ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, අරවින්ද ද සිල්වාගේ දැනුම්දීමකට අනුව තමන් කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ගොස් කපිල චන්ද්රසේන වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක මුදල් ඇපය තැන්පත් කිරීමට කටයුතු කළ බවයි.
“ඇප තැබීමෙන් පස්සේ මම කපිල චන්ද්රසේන මහතාව අරවින්ද මහතාගේ නිවසට එක්ක ගියා. ඉන්පසුව මම කාර්යාලයට ගියා. පසුව 07 වැනිදා දවල් අරවින්ද මහතා මට කිව්වා, කපිල චන්ද්රසේන මහතා පදිංචිව සිටි බාන්ස් පෙදෙසේ නිවසට ගොස් ඇප තැබූ රුපියල් ලක්ෂ 05ක මුදල ඔහු ආපසු දෙන නිසා එය රැගෙන එන්න කියලා. පස්සේ දවල් 2.15ට පමණ මම කපිල චන්ද්රසේන මහතාගේ නිවසට ගියා. ඒ ගෙදර හිටපු සේවකයන්ට මම කිව්වා කපිල මහත්තයව හම්බෙන්න ඕන කියලා. පස්සේ මම උඩුමහලට ගොස් ඔහුව හමුවුණා. පසුව කපිල චන්ද්රසේන මහතා කිව්වා රුපියල් ලක්ෂ පහක මුදල ළඟ තිබෙන බැංකුවකින් අරන් දෙන්නම් කියලා. ඒ වෙලාවෙම කෝල් එකක් ආවා. ඊට පස්සේ කපිල මහත්තයා කිව්වා ‘මාව ආයෙත් අත්අඩංගුවට ගන්න යනවා’ කියලා. පස්සේ මම කිව්වා ‘සර් මට පරක්කු වෙනවා, මට තව වැඩ තියෙනවා, මම යන්නම්’ කියලා. කාර්යාලයට පැමිණ එය ලබාදෙන ලෙස පවසා මම එම ස්ථානයෙන් පිටව ගියා.” යනුවෙන් ඔහු කියා ඇත.
ඉන් අනතුරුව තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන්ද සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ අතර, එයින් පසුව වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 26 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළ බව සඳහන් කර තිබේ.










