කන්තලේ ජනතාව සෝමවංශට දුක කියයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය 10 වනදා කන්තලේ නගරයේ ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක නිරත විය . එම අවස්ථාවට එම පක්ෂයේ නායක සෝමවංශ අමර සිංහ මහතා සහභාගීවූ අතර ඔහු කන්තලේ පැවති ජනතා සති පොළේ වෙළෙඳුන් හා පැමිණ සිටි ජනතාවට අත් පත්‍රිකා බෙදමින් වෙළෙඳ ප්‍රජාවගෙන් හා පොළට පැමිණ සිටි බොහෝ දෙනකුගෙන් ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳවද විමසා සිටින ලදී.

මෙහිදී තමන්ගේ ගැටලු, විශේෂයෙන්ම පවතින බඩු මිල ඉදිරියෙහි තමන් පත්ව සිටින අසරණ භාවය ගැන බොහෝ දෙනකු ඒ මහතාට තම දුක්‌ ගැනවිලි ඉදිරිපත් කළ අතර තමන්ට කියා ඉඩමක්‌ නොමැතිව බොහෝ පිරිස්‌ දුක්‌ විඳින බවද ඔවුහු පවසා සිටියහ.

ඒ අවස්ථාවේ ඔවුන් අමතා කතා කළ අමරසිංහ මහතා පවසා සිටියේ “කන්තලේ පොළ භූමියේ තිබෙන කඩ ටික හෙට අනිද්දාට කඩනවා. එදා වේල හොයා ගන්න මේ පවුල්ටික මහ පාරට වැටෙනවා. මේවා කඩා බිඳ දාන්න කලින් තමුන්නාන්සේලාට ඊට විකල්පයක්‌ මෙතෙක්‌ ඉදිරිපත් කරලා නෑ. ඒ විතරක්‌ නොවෙයි හෙට අනිද්දා වන විට මේ කන්තලේ තමුන්නාන්සේලා කුසගිනි නිවාගන්නා වැවටත් සී ප්ලේන් බස්‌සනවා. මේ ආණ්‌ඩුවේ වැඩපිළිවෙළ පවතින්නේ ඒ වගේ ආශ්චර්ය තත්ත්වයක.

ආණ්‌ඩුව තමුන්නාන්සේලාට සලකන්නේ නැති වුණාට ඔවුන්ගේ අතළොස්‌සක්‌ වූ හිත මිතුරු පන්තියට බොහෝම අගේට සලකනවා. අද මුළු ලෝකයම විශේෂයෙන් ඇමරිකාව, එංගලන්තය වගේ බටහිර රටවල ජනතාව පවා මේ පවතින ධනේෂ්වර ක්‍රමයට විරුද්ධව පෙළ ගැහිලා. ටික දෙනකු අතේ පවතින ධන සම්භාරය රටේ කොයි කා අතරත් බෙදී යා යුතු බවයි ඒ රටවලත් ජනතාව කියන්නේ. අපි කියන්නෙත් ඒ ටික තමයි. මේ ක්‍රමය නැති කරමු. හැමෝටම එක වගේ මුදල් ඉඩ කඩම් බෙදී යන සමාජවාදී පාලන ක්‍රමයක්‌ අපි ඇති කරමු.

අද රට යන පැත්ත ගැන තමුන්නාන්සේලාට අලුතින් කියන්න දෙයක්‌ නෑ. හැම තැනම පොඩි එකා ජීවත්වන ක්‍රම නැති කරනවා. මහ එවුන්ට හැම පැත්තෙන්ම සල්ලි ගරන්න ක්‍රම සකස්‌ කරලා තියෙනවා. අපිත් එක්‌ක එකතුවන්න සමාජවාදී සමාජ ක්‍රමයක්‌ බිහි කරලා මේ ජරාජීර්ණ පාලන ක්‍රමය බිමට සමතලා කරලා දාමු” යනුවෙන්ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්