ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්රමයක උත්තරීතර ව්යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවේ මුලසුන හොබවන්නේ කථානායකවරයාය. එය ගෞරවණීය මෙන්ම සැලකිය යුතු බලතල සහ වරප්රසාද සහිත තනතුරකි. එම තනතුරට අදාළ රාජ්ය මුදල් කළමනාකරණය, විනිවිදභාවය සහ වරප්රසාද භාවිතය සම්බන්ධයෙන් වර්තමානයේ සමාජයේද පුළුල් අවධානයක් යොමුව තිබේ.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ලබාගත් නිල දත්ත සහ නවවැනි පාර්ලිමේන්තුවේ විගණන වාර්තාවේ සඳහන් තොරතුරු අනුව, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සහ වත්මන් කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ධුර කාලයන්හි රාජ්ය පිරිවැය කළමනාකරණය සහ වරප්රසාද භාවිතය සම්බන්ධයෙන් වෙනස්කම් කිහිපයක් හඳුනාගත හැකිය.
කථානායකවරුන්ගේ විදේශ සංචාර සහ ඒ සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් සලකා බැලීමේදී, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ වසර හතරකට ආසන්න ධුර කාලය තුළ විදේශ සංචාර 20ක් සිදුකර ඇති අතර, ඒ සඳහා වැය වූ මුදල රුපියල් 24,225,809.68කි.
ඒ අනුව එක් විදේශ සංචාරයක් සඳහා සාමාන්යයෙන් රුපියල් 1,211,290.48ක පමණ මුදලක් වැය වී තිබේ. වත්මන් කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා මේ දක්වා විදේශ සංචාර 7කට සහභාගී වී ඇති අතර, ඒ සඳහා වැය වී ඇති මුදල රුපියල් 1,914,071.90කි. ඒ අනුව එක් සංචාරයක් සඳහා සාමාන්ය වියදම රුපියල් 273,438.84ක් පමණ වේ.
මෙම සංඛ්යා අනුව, එක් විදේශ සංචාරයක් සඳහා වැය වන සාමාන්ය පිරිවැය සැසඳීමේදී ආසන්න වශයෙන් සියයට 77.4ක අඩුවීමක් දක්නට ලැබේ. සංචාර සංඛ්යාව සීමා කිරීම, සංචාර සඳහා සහභාගී වන නියෝජිත පිරිස, ගුවන් ගමන් සහ නවාතැන් ඇතුළු වියදම් කළමනාකරණය කිරීම මෙම වෙනසට බලපා ඇති බව අදාළ දත්ත මත පදනම්ව සලකා බැලිය හැකිය.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ලබාගත් තොරතුරු අනුව, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය භාවිතය සඳහා වාහන තුනක් යොදාගෙන ඇති අතර, වත්මන් කථානායකවරයාගේ භාවිතය සඳහා යොදාගෙන ඇත්තේ වාහන දෙකකි.
මන්ත්රී ඉන්ධන කෝටාව අත්හැරීම
එමෙන්ම හිටපු කථානායකවරයාට කථානායක ධුරයට අදාළ ඉන්ධන පහසුකමට අමතරව, මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස හිමි වූ ඉන්ධන කෝටාවද භාවිත කර ඇති බව අදාළ තොරතුරුවල සඳහන් වේ. 2020 සිට 2024 දක්වා කාලය තුළ ඔහුගේ ඉන්ධන දීමනා සඳහා ගෙවා ඇති මුදල රුපියල් මිලියන 6.04 ඉක්මවා තිබේ.
නවවැනි පාර්ලිමේන්තුවේ විගණන වාර්තාවේ සඳහන් දත්ත අනුව, 2021 වසරේ ලීටර් 2,490ක්ද, 2022 වසරේ ලීටර් 2,400ක්ද, 2023 වසරේ ලීටර් 3,994ක්ද, 2024 වසරේ ලීටර් 6,122ක්ද මාසිකව කථානායකවරයා වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් ඉන්ධන නිකුත් කර තිබේ. 2016 – 2020 සමයේ පවා කථානායකවරයාගේ මාසික ඉන්ධන සමාන්ය අගය ලීටර් දෙදහස ඉක්මවා ඇති බැව් විගණන වාර්තාවලින් හෙලි වී තිබේ.
කෙසේ වෙතත්, වත්මන් කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා පොළොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස හිමිවන ඉන්ධන කෝටාව ලබාගැනීම අත්හැර ඇති අතර, කථානායක ධුරයට අදාළ ඉන්ධන පහසුකම ලීටර් 900කට සීමා කරගෙන ඇති බව අදාළ තොරතුරුවලින් අනාවරණය වේ.
ඒ අනුව, කථානායක ධුරයට අදාළ ඉන්ධන පහසුකම සහ මන්ත්රීවරයකු ලෙස හිමිවන ඉන්ධන කෝටාව යන දෙකම භාවිත කිරීම වෙනුවට එක් ඉන්ධන පහසුකමක් පමණක් භාවිත කිරීමේ ක්රමයක් වත්මන් කථානායකවරයා අනුගමනය කරන බව මෙම දත්ත අනුව පෙනී යයි.
කථානායක කාර්යාලය හා නිල නිවස ආශ්රිත කාර්ය මණ්ඩල සංඛ්යාව සම්බන්ධයෙන්ද සැලකිය යුතු වෙනසක් දක්නට ලැබේ. හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සමස්ත කාර්ය මණ්ඩල සාමාජික සංඛ්යාව 45ක් වූ අතර, ඉන් 30 දෙනෙකු නිල කාර්යාලයටත් 15 දෙනෙකු නිල නිවසටත් අනුයුක්තව සිට ඇත.
වත්මන් කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ සමස්ත කාර්ය මණ්ඩලය 20 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඉන් 12 දෙනෙකු පෞද්ගලික කාර්ය මණ්ඩලයටත් 8 දෙනෙකු නිල නිවසටත් අනුයුක්තව සිටින බව සඳහන් වේ. ඒ අනුව කාර්ය මණ්ඩල සංඛ්යාව 45 සිට 20 දක්වා අඩු වී ඇති අතර, එය ආසන්න වශයෙන් සියයට 55.6ක අඩුවීමකි.
කාර්ය මණ්ඩල සංඛ්යාව අඩුවීමත් සමඟ වැටුප්, දීමනා, අතිකාල සහ අනෙකුත් කාර්ය මණ්ඩල වියදම්වලටද බලපෑමක් ඇතිවිය හැකිය.
කථානායක නිල නිවසේ නඩත්තු වියදමත් අඩු මට්ටමක
හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කථානායක නිල නිවස භාවිත කළ අතර, එහි නඩත්තු කටයුතු සඳහා 2020 වසරේ රුපියල් 1,434,968ක්ද, 2021 වසරේ රුපියල් 1,036,666ක්ද, 2022 වසරේ රුපියල් 2,566,121ක්ද, 2023 වසරේ රුපියල් 2,329,728ක්ද සහ 2024 වසරේ රුපියල් 1,449,629ක්ද වැය වී ඇති බව සඳහන් වේ.
වත්මන් කථානායකවරයා කථානායක නිල නිවසේ පදිංචිව නොසිටියද, එහි නඩත්තු කටයුතු සඳහා වියදම් සිදුව තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ලබාගත් තොරතුරු අනුව, 2024 වසරේ දින 15ක් සඳහා රුපියල් 59,463ක්ද, 2025 වසරේ රුපියල් 788,380ක්ද, 2026 පෙබරවාරි මාසය වන විට රුපියල් 33,215ක්ද එහි නඩත්තු කටයුතු සඳහා වැය වී ඇත. මෙම සංඛ්යා අනුව පෙර කථානායක ධුර කාලයන්ට සාපේක්ෂව වත්මන් කාලය තුළ කථානායක නිල නිවස සඳහා වාර්තා වී ඇති නඩත්තු වියදම් අඩු මට්ටමක පවතී.
කථානායකවරයා නිල නිවස වෙනුවට වෙනත් රජයේ නිවෙසක්
කථානායක කාර්යාලයෙන් කළ විමසීමකදී සඳහන් කර ඇත්තේ, වත්මන් කථානායකවරයා මේ වන විට විධායක ශ්රේණියේ රාජ්ය නිලධාරීන් සඳහා ලබාදෙන රජයේ නිල නිවසක් භාවිත කරන බවයි. එහි විදුලි හා ජල බිල්පත් මෙන්ම නිවාස කුලිය ද කථානායකවරයාගේ වැටුපෙන් ගෙවන බවද කථානායක කාර්යාලය පවසයි.
කථානායක මන්දිරය කථානායකවරයාගේ නේවාසික භාවිතය සඳහා පමණක් යොදා ගැනීම වෙනුවට, එය කථානායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ නිල හමුවීම් සඳහා මෙන්ම මහජන නියෝජිතයන් පුහුණු කිරීම සහ නීති සම්පාදන කටයුතු පිළිබඳ අධ්යයනය සඳහාද භාවිත කළ හැකි පාර්ලිමේන්තු අධ්යයන හා පර්යේෂණ මධ්යස්ථානයක් බවට පරිවර්තනය කිරීමට යෝජනා වී ඇති බව කථානායක කාර්යාලය සඳහන් කරන අතර එය අතිශය වැදගත් තීරණයකි.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ උපදේශක කාරක සභාව විසින් නම් කරන ලද කමිටුවක් මගින් එම ව්යාපෘතියට අදාළ යෝජනාව මේ වන විට සකස් කරමින් පවතින බවද කථානායක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
එවැනි මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමේ අරමුණ වන්නේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ධාරිතා වර්ධනය, නීති සම්පාදන ක්රියාවලිය පිළිබඳ අධ්යයනය සහ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධ පර්යේෂණ සඳහා ස්ථිර ආයතනික අවකාශයක් සකස් කිරීම බව අදාළ යෝජනාවෙන් අපේක්ෂා කෙරේ.
වරප්රසාද භාවිතය පිළිබඳ නව සංවාදයක්
කථානායක ධුරය යනු පාර්ලිමේන්තුවේ ගෞරවය, ව්යවස්ථාදායක ක්රියාවලිය සහ මහජන විශ්වාසය සමඟ සම්බන්ධ වූ තනතුරකි.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ලබාගත් තොරතුරු සහ පාර්ලිමේන්තු විගණන වාර්තාවේ සඳහන් දත්ත අනුව, විදේශ සංචාර, ඉන්ධන භාවිතය, කාර්ය මණ්ඩල ප්රමාණය සහ නිල නිවසේ භාවිතය යන කරුණු සම්බන්ධයෙන් හිටපු සහ වත්මන් කථානායකවරුන්ගේ ධුර කාලයන් අතර සැලකිය යුතු වෙනස්කම් පවතී.
මෙම වෙනස්කම් රාජ්ය වියදම් කළමනාකරණය, වරප්රසාද භාවිතය සහ පොදු සම්පත් භාවිතය පිළිබඳව නව සංවාදයකට අවකාශ සලසයි.
කෙසේ වෙතත්, එවැනි සංසන්දනයකදී එක් එක් කාලපරිච්ඡේදයේ නිල කටයුතු, සංචාරවල ස්වභාවය, ආයතනික අවශ්යතාකතද්ණායක සහ අදාළ පරිපාලන තීරණද සැලකිල්ලට ගැනීම වැදගත් වේ.
ඒ අනුව, කථානායක ධුරයට අදාළ වරප්රසාද සහ රාජ්ය සම්පත් භාවිතය පිළිබඳ නිල දත්ත තවදුරටත් මහජන අවධානයට සහ පාර්ලිමේන්තු විනිවිදභාවයට විවෘත කිරීම, එම තනතුර පිළිබඳ මහජන විශ්වාසය ශක්තිමත් කිරීම සඳහා වැදගත් කරුණක් වනු ඇත.
දිණමිණ










