කථානායක වෛද්ය ජගත් වික්රමරත්නට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාව ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් වෙත භාර දීමට සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් පිරිසක් ඊයේ (09) කටයුතු කර තිබිණි.
මන්ත්රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුතු මෙම යෝජනාව පිටුපස පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර සිටින අතර ඔහුගේ පෞද්ගලික උවමනාව මත මෙම යෝජනාව කරළියට පැමිණ ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත්, මන්ත්රී දයාසිරි ජයසේකරගේ මෙම පෞද්ගලික උවමනාව වෙනුවෙන් පෙනී සිටීමට විපක්ෂයේ ඇතැම් මන්ත්රීවරුන් සහ ප්රධාන පක්ෂ කිහිපයක්ම ප්රතික්ෂේප කර තිබේ.
ඒ හේතුවෙන් විපක්ෂයේ ප්රධාන පක්ෂ කිහිපයක්ම මෙම විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් තැබීමෙන් වැළකී සිටීම විශේෂත්වයකි.
මේ අතර, සමගි ජන බලවේගය විසින් කථානායකට එරෙහිව ගෙන ඒමට නියමිත මෙම යෝජනාව සම්බන්ධයෙන් පසුගිය අඟහරුවාදා (06) අදහස් දක්වමින් සභානායක, ඇමති බිමල් රත්නායක ප්රකාශ කළේ අදාළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට ඉතා ඉක්මනින් අවස්ථාව ලබාදීමට ආණ්ඩුව සූදානම් බවය.










