කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අද දිනයේදී විශේෂ ප්රකාශයක් කිරීමට සූදානම් වීමෙන් කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් සහ නීතිපතිවරයා කැළඹී ඇති බව වාර්තා වේ.
කතානායකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවේ කේන්ද්රීය ම කරුණ වී තිබෙන්නේ ඔන්ලයින් පනතට නීති විරෝධීව අත්සන් තැබීම ය. මෙම පනත මහජන ආරක්ෂක ඇමති සහ අධිකරණ ඇමතිගේ මූලිකත්වයෙන් කෙටුම්පත් කර සම්මත කර ගනු ලැබීය. එහෙත් එය සම්මත කර ගැනීමේදී ශ්රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබූ තීරණාත්මක නිර්දේශ ගණනාවක් සම්පූර්ණයෙන් නොතකා හැර තිබූ බව පසුව හෙළිවිය.
එසේ සම්මත කර ගන්නා ලද එම පනතට කතානායකවරයාගේ අත්සන යෙදීමට පෙර නීතිපතිගේ උපදෙස් ලබා ගත් බවද ප්රකාශ කර තිබිණි. විශ්වාසභංග යෝජනාවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන සිදු කිරීමට නියමිත විශේෂ ප්රකාශය මගින් ඔන්ලයින් පනතට අත්සන් කිරීමේ පසුබිමේ තිබූ කතාව හෙළිකරනු ඇති බවට අදාළ පිරිස විශේෂයෙන් කැළඹී සිටින බවට වාර්තා වේ. අද (19) දිනයේ එම විශේෂ ප්රකාශය සිදු නොකළ අතර හෙට එම ප්රකාශය සිදු කරන්නේ දැයි පැහැදිලි නැත.










